සිරිසේනගේ කිරිපිටි කතාවට : රාජිතගෙන් සැර ප්‍රතිචාරයක් !

සිරිසේනගේ කිරිපිටි කතාවට : රාජිතගෙන් සැර ප්‍රතිචාරයක් !

කිරිපිටි සම්බන්ධයෙන් බොරු දේශපාලන සටන් පාඨ නොකර විද්‍යාත්මකව සිදු කර ඇති පරීක්ෂණ පිළිගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න පදනම සංවිධානය කළ කළුතර තරුණ බල මණ්ඩල රැස්වීම අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ රාජිත සේනාරත්න පදනමේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විනි. ඒ කළුතර නගර ශාලාවේ දීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “කිරිපිටි ශ්‍රී ලංකාවට ආනයනය කරනවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයක දී මව්කිරි ප්‍රචලිත කිරීමේ යෝජනාව මම ජයගත්තේ ඇමරිකාව සමග සටන් කරමින්. මම දරුවන් වෙනුවෙන් එම සටන දියත් කළේ. මගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබදව සාකච්ඡා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය අමාත්‍යවරයා එරටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. නමුත් එම සාකච්ඡාවට යාමට මට අවස්ථාවක් නැහැ.

කිරිපිටි අනවශ්‍ය නම් තහනම් කරන්න පුළුවන්. නමුත් දේශිය වශයෙන් දියර කිරි නිෂ්පාදනය කරන්නේ සියයට 10 යි. සියයට 90 ක්ම කිරිපිටි භාවිත කරනවා. දියර කිරි අවශ්‍යතාවය සපුරා නොගෙන දරුවන්ට කිරිපිටි ලබාදීම පිළීබද ගැටලුවක් මතු වෙනවා.

කිරිපිටි සම්බන්ධයෙන් කරන දේශපාලන සටන් පාඨ නිසා රට විනාශ වෙනවා. ඒ බොරු දේශපාලනයයි. මම විද්‍යාව හදාරපු කෙනක්. යමක් පිළිගන්නේ විද්‍යාත්මකව ඔප්පු කළොත් විතරයි. අවිද්‍යාත්මක දේවල් පිළිගන්නේ නැහැ. කිරිපිටිවල ඌරු තෙල්, එළවලු තෙල් තියෙනවා කියලා විද්‍යාත්මකව ඔප්පුකර නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්තේ කිරි, මේදය හැර වෙනත් කිසිවක් අඩංගු නැහැ කියලයි. නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි භාවිත කරමින් එම පරික්ෂණය සිදු කොට තිබෙනවා.

විවිධ බොරු ප්‍රකාශ සිදු කළ විට මුස්ලිම් ජනතාවට කිරි පිටි බොන්න බැහැ. මොකද ඌරු තෙල් තිබෙන බව ප්‍රකාශ කළ විට. එහෙනම් මුස්ලිම් ජනතාවගේ නිවාස වලට අවශ්‍ය කිරිපිටි වෙනුවට එළහරක් ලබාදිය යුතුයි. සංකීර්ණ ක්‍රියාවලියක් සරළව කථා කරලා වැඩක් නැහැ.

මම අග්‍රාමාත්‍යවරයාට යෝජනා කළා ඉන්දියාවේ අමුල් සමාගමේ ක්‍රමවේදයට අනුව ගම් මට්ටමින් දියර කිරි භාවිතය හුරු කළ යුතු බව. රජයේ ඉදගෙන නියෝග දීලා වැඩක් නැහැ. බලය දුන්නේ කියවන්න නොවෙයි. වැඩ කරන්නයි. මාව ගන්න බහුජාතික සමාගම් වලට බැහැ.

මීට පෙර 1947 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යවරුන් සිටියත් දුම්කොළ සදහා සියයට 90 ක බදු පැනවීමට කාටවත් බැරි වුනා. බහුජාතික සමාගම් නිෂ්පාදනය කරන පැණිබීම වලට බදුපැනවීමට කාටවත් බැරි වුනා. ඖෂධ මිල අඩු කිරීම, ස්ටෙන්ස් සහ අක්ෂි කාච මිල අඩු කිරීම කවුරුවත් කළා ද. දේශපාලනය කිරීමේ දී කියන්න පුළුවන්. නමුත් කරන්න ගියාම අමාරුයි.

ඇතැම් ක්‍රියාමාර්ග බලය, මුදල් යොදා ඇමැතිවරු නතර කළා. මට කවුරුවත් ලොකු නැහැ. පොඩිත් නැහැ. කරන්න පුළුවන් තරම් වැඩ මම කරනවා. මම යටත් වන්නේ ජනතාවට විතරයි. වෙන අයට යටත් වෙන්නේ නැහැ. මම මගේ ගමන ඉදිරියටම යනවා.”

– ප්‍රසන්න අධිකාරි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න