අතයි - පොහොට්ටුවයි එලිපිට ගැටෙයි !

අතයි - පොහොට්ටුවයි එලිපිට ගැටෙයි !

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව ශ්‍රිලනිප සහ පොදුජන පෙරමුණ අතර දැඩි මතභේදයක් මතුව ඇති බවත් එය මේ වන විට ප්‍රසිද්ධ වේදිකාවටද පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනාධිපති සිරිසේන ට එලැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබාදීමට පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දැඩි විරෝධයක් පළකිරීම මෙම ගැටුමේ මූලාරම්භය බවයි.

2015 වසරේ නිදහස් සන්ධානය පාවදී එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවීමට මුල්වූ සිරිසේන ජනාධිපති තමන් වසර 4 ක් තිස්සේ වෙහෙසී ගොඩනැගූ පක්ෂය හරහා නැවත ජනාධිපති වීමට උත්සාහ දරන බවත් ජයග්‍රහණය පෙනිපෙනී තම පක්ෂයේ නොවන කිසිවෙකුට අපේක්ෂකත්වය ලබාදීමට කිසිසේත් එකග නොවීම බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය බවත් දැනගන්නට ඇත.

ශ‍්‍රීලනිප බදුල්ල දිස්ත‍්‍රික් බල මණ්ඩලය අමතමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පොහොට්ටු පක්ෂය සම්බන්ධව දැක්වූ අදහස් ජනාධිපති සිරිසේනගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බවද පොහොට්ටු පාර්ශවයේ අදහස වී තිබේ.

එම ජනහමුව අමතමින් ශ්‍රිලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර බැසිල් රාජපක්ෂ මහතාට නම නොකියා දැඩි විවේචනයක් එල්ල කරනු ලැබිණ. එසේම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂවද හෑල්ලුවට ලක්කර අදහස් දැක්වීය.

දයාසිරි බැසිල්ට වැටෙන්න ගහයි !

ඒ හොදට දේශපාලන සූත්‍ර දන්න ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දින 45ක් තුල මහින්ද රාජපක්‍ෂ මහතාට හතර ගාතෙන් වැටෙන්න කෙලලා ඇරිය බව පවසමිනි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැන් ක‍්‍රමානකූලව ජන ප‍්‍රසාදය වැඩි කර ගනිමින් සිටින බවත් තවත් මාස තුන හතරකින් තත්වය බලාගත හැකි බවත් ජයසේකර මන්ත්‍රීවරයා පැවැසීය .

පොහොට්ටුවක් හදාගෙන ගියද අද මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය මෙන්ම මන්ත‍්‍රී ධුරයද රැක දුන්නේ සන්ධාන මහ ලේකම්වරයා බව මතක තබා ගත යුතු යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

මීලග ජනාධිපතිවරණය ජයගැනීමට නම් ශ‍්‍රීලනිපය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් විය යුතුම බවත් එසේ නොවුනහොත් ජනාධිපතිවරණය පරාජය වන බවත් පැවසූ මහ ලේකම්වරයා තනියෙන් දිනාගත හැකි යයි කිසියම් ඔලමොට්ටලයෙක් කියන්නේ නම් තනියම ගොස් දිනාගන්නැයි කියන බවත් පැවසීය.

බැසිල්ගේ ප්‍රකාශය !

මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ දෙසැම්බර 07 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කරන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයෙක් බව එම පක්‍ෂ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ජනාධිපති සිරිසේනගේ පාර්ශවය දැඩි අවධානයක් යොමුකර ඇති බවයි.

පොදුජන පෙරමුණ පක්ෂයේ කළුතර දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය අමතමින් බැසිල් රාජපක්ෂ මහතා ඉහත ප්‍රකාශය සිදුකළ අතර තම අපේක්‍ෂකයා ස්ථිරවම එම මැතිවරණයෙන් ජයගන්නා බවත් ඔහු දෙසැම්බර 09 වැනිදා ජනාධිපති ලෙස දිවුරුම් දෙන බවත් ඔහු එහිදී පවසා තිබිණ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න