ජිනීවාවල ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් නෑ : මංගලගෙන් මහින්දට පිළිතුරක් !

ජිනීවාවල ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් නෑ : මංගලගෙන් මහින්දට පිළිතුරක් !

මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් වීමත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලනය යළිත් වරක් උණුසුම් වෙමින් පවතී.

නව යෝජනාවට අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉල්ලීමක් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඉරිදා (මාර්තු 17) නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාරය පළකරන මුදල් අමාත්‍ය මංගල සමරවීර, ව්‍යාජ සහ අතිශයෝක්තියෙන් හුවා දක්වන කරුණු මත එම නිවේදනය පදනම් වී ඇති බවට චෝදනා කරයි.

විශේෂයෙන්ම "ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්" වර්තමානයේ මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වී නැති බව පෙන්වා දෙන මුදල් ඇමතිවරයා, ජාත්‍යන්තර ප්‍රජාව වෙත දුන් ප්‍රතිඥා ඉටු නොකිරීම හේතුවෙන් රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ බරපතල බලපෑම් සවිස්තරව සඳහන් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා එසේ ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවක් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන 40/1 දරන යෝජනාවේ අන්තර්ගත කරුණුවලින් ශ්‍රී ලංකාවේ "අභ්‍යන්තර කටයුතුවලට විදේශීය මැදිහත් වීමක් පිළිබිඹු කෙරෙන බැවින්" ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන මෙන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙනි.

අතුරුදහන් වූවන් සම්බන්ධ කාර්යාලය සහ බලහත්කාර අතුරුදහන් කිරීමෙන් වැළැක්වීමේ පනත ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද විපක්ෂනායකවරයාගේ නිවේදනයේ දැක්වෙන කරුණු අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

01
විශේෂයෙන්ම මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කොට තිබෙන යෝජනාවේ "ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට" ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා අනෙකුත් රටවල් පෙළඹවීමට කටයුතු කිරීම සඳහා "ජිනීවා නුවර තානාපති බලධාරීන්ට කඩිනමින් උපදෙස් ලබාදෙන මෙන්" විපක්ෂනායකවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් කරන ඉල්ලීමට ප්‍රතිචාරය දක්වන මුදල් ඇමතිවරයා පවසන්නේ, එවැනි ඉල්ලීමක් කිරීමට විපක්ෂනායකවරයාට කිසිදු නිල බලයක් නොමැති බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අදාළ යෝජනාවට විරෝධය පළ කරන අතරවාරයේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව මෙවරත් එයට සම අනුග්‍රහය දක්වයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසි වාරය සඳහා නියෝජිත පිරිසක් පිටත් නොකිරීමට ශ්‍රී ලංකාව මුලින් තීරණය කොට තිබුණු බව මාධ්‍ය වාර්තාවල දැක්විණ.

එහෙත්, විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් සැසිවාරයට සහභාගි වන ශ්‍රී ලංකා දූත පිරිසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝජිතයන් ද ඇතුළත් වීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් ඒ නියෝජිතයන් දෙදෙනාය.

o2

විරුද්ධ පක්ෂ නායකයා සහ මුදල් අමාත්‍යවරයා මෙසේ වාග් සංග්‍රාමයක නිරතව සිටින්නේ යුද්ධ අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කරන මෙන් මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවෙන් යළිත් වරක් ඉල්ලා සිටීමෙන් දින කිහිපයකට පසුවය.

අදාළ යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වීම "ඛේදජනක තත්ත්වයක්" බව පවසන මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ, "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම, සන්නද්ධ හමුදා හා පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරිම, බලය බෙදීමේ ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති නීතිරීති ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම‍, සන්නද්ධ හමුදාවන්ට විශේෂිත වූ අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සහ විදේශීය අධිකරණ විනිසුරන්ගේ මැදිහත් වීමක් ඇති කිරීම ඇතුළු කරුණු රාශියක්" ඉහත කී යෝජනාවට ඇතුළත් බව ද පවසති.

03

"මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට හා දේශපාලන ප්‍රධානීන්ට විදේශීය රටවල සංචාරය කිරීමේදී ගෝලීය අධිකරණ බලය ක්‍රියාත්මක වීම හේතුවෙන් විශාල අපහසුතාවන්ට ද මුහුණ දීමට සිදු විය හැක," යනුවෙන් ද ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.

මහ කොමසාරිස්වරියගේ නිර්දේශ

මේ අතර මානව හිමිකම් සම්බන්ධ මහ කොමසාරිස්වරිය විසින්:

මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබූ වර්තමාන හා කලින් වාර්තාවල සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කාලානුරූපී සැලසුමක් සකස් කිරීම හා ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ විධායක කණ්ඩායමක් පත් කිරීම

මහ කොමසාරිස්වරයාගේ සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තාක්ෂණික සහය සැපයීම සඳහා උපදෙස් ලබා දීම පිණිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) ආරාධනා කිරීම

පොදු ජනතාවගේ, වින්දිතයින්ගේ සහ සාක්ෂිකරුවන්ගේ, සිවිල් සමාජයේ මෙන් ම පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් යුක්තිය, විශේෂයෙන් සත්‍යය සෙවීමේ සහ වගවීම් යාන්ත්‍රණ, වන්දි ලබා දීම් සහ සිහිපත් කිරීම් පිළිබඳව අව්‍යාජ උපදේශන ආරම්භ කිරීම

මෙම ක්‍රියාවලිය වෙනුවෙන් උපදෙස් ලබා ගැනීම සඳහා සත්‍යය, යුක්තිය, වන්දි සහ නැවත සිදුනොවීම සහතික කිරීම් පිළිබඳ විශේෂ නියෝජිතයාට ආරාධනා කිරීම

ඇතුළු නිර්දේශ ගණනාවක් දැනටමත් ශ්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මීට ඉහතදී 'සන්ඩේ ටයිම්ස්' පුවත්පතට පවසා තිබූ අතර ඉන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමා නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පිටත් කර යවන බවය.

"අපිට කරන යෝජනාවලින් බලපෑම් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්න අපි විසඳගන්නම්. යුද්ධය ඉවර වෙලා දැන් අවුරුදු 10ක් ගත වෙලා නැවත මේ පරණ දේවල් හාර හාර තුවාල පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව අපි සියලු දෙනා ම සාමය සඳහා කැපවෙන්න කියලා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේවා අමතක කරලා," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

රජයේ පැහැදිලි කිරීම

එහෙත් ඒ සමගම නිවේදනයක් නිකුත් කළ අගමැති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කැපවන අතර ම මේ වසරේ ඉදිරිපත් කෙරෙන යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන බවත් අවධාරණය කර තිබිණි.

"ඒ අනුව, සම අනුග්‍රාහිත කල් ඉල්ලීමේ යෝජනා සම්මතයක් මඟින් තවත් වසර දෙකක් කල් ඉල්ලා සිටීම මෙම පසුබිම යටතේ සලකා බැලීම අවශ්‍ය" බව විදේශ කටයුතු අමාත්‍යංශය ද නිවේදනය කළේය.

එහි වැඩිදුරටත් දැක්වුණේ, "30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි හිමිකාරීත්වය ශක්තිමත් කිරීම ඔස්සේ, ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව නැඟෙන ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වළක්වා ලීමට මෙම උපාය මාර්ගය සමත් වනු ඇති," බවය.

(බීබීසී)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න