"ඩෙල්ෆ් දූපතේ ක්‍රියාත්මක කෙරෙන සූර්ය සහ සුළං විදුලි උත්පාදන ක්‍රියාදාමයේ සාර්ථකත්වය පදනම් කරගනිමින්, අවට පවතින අනෙකුත් දූපත් වලටත් සූර්ය සහ සුළං විදුලිබල උත්පාදනය ව්‍යාප්ත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඩෙල්ෆ් මෙන්ම අවට ඇති දූපත්වල සූර්යබල විදුලි උත්පාදනය සහ සුළං විදුලිබල උත්පාදනය ප්‍රවර්ධනය කරලා ඒ තුළින් රටේ විදුලි උත්පාදන වියදම අවම කරගැනීමට තමයි සැලසුම් සකස් කරන්නේ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පසුගියදා වව්නියාව සහ යාපනය ප්‍රදේශයන්හි පැවති නිල සංචාරයකදී, ඩෙල්ෆ් දූපතේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක,
"මේ දූපතේ විදුලි ජනනයට තිබෙන දුර්වලතා, ගැටළු හදුනාගෙන ඒවාට පිළියම් යෙදීමෙන් එම තත්ත්වයන් මගහැරලා, පුනර්ජනනීය විදුලි ජනනය කිරීම වර්ධනය කිරීමයි අපේ මූලික අරමුණ වන්නේ. 4500 ක පමණ ජනතාවක් මේ දූපතේ ජීවත් වෙනවා. මේ ප්‍රදේශයේ උත්පාදිත විදුලිය ජාතික පද්ධතියට එකතුවීමේ යම් ගැටළුකාරි තත්ත්වයක් මතුවී තිබෙනවා. මෙම ගැටළුකාරි තත්ත්වයන් මගහරවලා, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් රටේ විදුලි උත්පාදනයේ සමබර සංවර්ධනයක් ඇති කරන්නේ කොහොමද කියලා මේ වනවිට අපි අධ්‍යයනය කරමින් සිටිනවා" යැයි පැවසීය.

