මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේදී පැවැති ත්‍රිපිටකාභිවන්දනා උත්සවයේ දී මහනායක හිමිවරුන්ට ආසන පනවා තිබූ ආකාරය අතිශයින්ම විනය විරෝධී හා සදාචාර විරෝධී බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව පවසයි.
එම සංඝ සභාව විසින් ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවමින් මේ බව දැනුම් දී තිබේ.
ශාසනික ව්‍යවහාරයක් නොදන්නා නිළධාරීන් පිරිසක් විසින් එම විකෘතිය සිදුකර ඇති බවද ඔවුනට විරුද්ධව පියවරක් ගත යුතු බවද ලිපියේ සඳහන් වෙයි.
භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ආසන පැනවීම සම්බන්ධයෙන් විනය පිටකයේ සඳහන් වන බවත් ඒ අනුව ප්‍රමුඛස්ථානය දිය යුත්තේ උපසම්පදා ගණනින් වැඩිහිටි හිමිවරුන්ට බවත් එසේ නොමැතිව රහත් භික්ෂූන් වහන්සේ නමකටවත් මුල් අසුන් හිමි වන්නේ නැති බවත් ලිපියේ දැක්වේ.
එම බුද්ධ නීතිය නොතකා එදින අසුන් පනවා තිබූ ආකාරය ගිහි-පැවිදි හැමදෙනාටම පිළිකුලට හා උපහාසයට යොමු වූ බව දක්නට ලැබුණේ යැයි ද ලිපියේ තව දුරටත් සඳහන් වේ.
රාමඤ්ඤ නිකායේ හා අමරපුර නිකායේ මහ නායක හිමිවරුන්ට මිටි අසුන් පනවා උන් වහන්සේලාට වඩා අඩු වස් ගණනක් සහිත මල්වතු අස්ගිරි පාර්ශව දෙකේ නා හිමි දෙනමට වේදිකාවේ උස් අසුන් පනවා තිබීම මෙම තත්වයට හේතු වූ බවද ලිපිය මගින් පෙන්වා දෙයි.
මෙම අවකල් ක‍්‍රියාව ජනාධිපති වරයාගේ කීර්ති නාමයට පවා මහත් කැලලක් සිදුවූ බවද ලිපියේ වැඩි දුරටත් සදහන්ය.
මෙම ක‍්‍රියාවට වගකිව යුතු නිලධාරීට එරෙහිව කටයුතු නොකරන්නේ නම් රාමඤ්ඤ හා අමරපුර නිකායන් එක් වී මාෂනයේ ගෞරවය වෙනුවෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවද ලිපියෙන් අවධාරණය කර ඇත.

