අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජය ගැන වගකීම බාර ගෙන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සහකාර සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ආශු මාරසිංහ මන්ත්‍රීවරයා කටයුතු කර ඇත.
පසුගියදා මෙසේ පරාජයට පත්වූයේ වජිර අබේවර්ධන සහ චම්පික රණවක අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ දෙක ය.
ඊයේ (29) සිය ඉල්ලා අස්වීමට අදාල ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකිරීමට ආශූ මන්ත්‍රීවරයා කටයුතු කර ඇති අතර එහි පිටපත් කතානායක, වැය ශීර්ෂ පරාජයවූ අමාත්‍යවරුන් දෙදෙනා ඇතුළු පාර්ශව කිහිපයකට යොමු කිරීමටද කටයුතු කර තිබේ.
එම ලිපිය පහත දැක්වේ.
2019-03-29.
ගරු අග්‍රාමාත්‍ය තුමා,
අරලියගහ මන්දිරය,
කොළඹ.
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම
අයවැය කාල පරිච්ඡේදය තුළ විශේෂ කාරක සභා අවස්ථාවේ දී සියළුම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු යැයි (විශේෂයෙන් ඡන්දය විමසන අවස්ථාවේ දී) නියම කර තිබියදීත්, ඊයේ 2019-03-28 වන දින පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ පරාජය වීම සම්බන්ධයෙන් දැඩි කම්පනයටත් පසුතැවිල්ලටත් පත්වෙමි.
ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරු දෙදෙනා සහ ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායකවරු තිදෙනා, යන සියළුම දෙනාටම මේ සම්බන්ධ වගකීම ඇතැයි මම විශ්වාස කරමි. ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායකවරයෙකු වශයෙන් ඔබතුමා මා පත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තූතිවන්ත වන අතර, ඊයේ පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම වළක්වා ගැනීම ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ට සම වගකීමක් පැවරී ඇති නමුත්, ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායකවරයෙකු වශයෙන් මා මාගේ වගකීම නොපිරිහෙලා ඉටුකළ නමුත්, මේ සිදුවූ සිද්ධියේ දී මා හට මේ සම්බන්ධයෙන් ඇති වගකීම බැහැර කළ නොහැකිය.
නොසැලකිලිමත්කම, අපරීක්ෂාකාරීකම සහ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට නොහැකි වීම ගැන මා අතිශයින්ම කම්පාවට පත්වෙමි. විශේෂයෙන් පෞද්ගලිකවම මෙයින් අපහසුතාවයට පත් වූ ගරු අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන සහ චම්පික රණවක ඇමැතිවරුන්ට මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතර මේ සම්බන්ධයෙන් වගකීම බාර ගෙන ඉල්ලා අස්වීමට තීරණය කරමි. මේ ඉල්ලා අස්වීම පිළිගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
ඉල්ලා අස්වූවද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් ආණ්ඩු පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේත් සියළුම කටයුතු වලදී මීටත් වඩා උනන්දුවෙන් හා පරීක්ෂාවෙන් කටයුතු කිරීම මම පොරොන්දු වෙමි.
ස්තූතියි
ආශු මාරසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රී
පිටපත්
ගරු කතානායකතුමා,
ගරු වජිර අබේවර්ධන ඇමැතිතුමා,
ගරු පාඨලී චම්පික ඇමැතිතුමා,
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා,
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරු දෙදෙනා,
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සහකාර සංවිධායකවරු තිදෙනා,
සියළුම ජනමාධ්‍ය,

