මරණ දණ්ඩනය නියම කොට එය නුඳුරේදීම ක්‍රියාත්මක කරන බව ජනාධිපති සිරිසේන යළිත් වරක් අවධාරණය කරයි.
ඒ ඊයේ (29 දා) පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එකවෙමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති සිරිසේන මෙසේද පැවසීය.
“අද ටොක්කක් ඇන්නොත්, ළමයෙකුගේ කන මිරිකුවොත් පොලිසි යනවා. මොකද ඒ ළමයාට තියෙන ආදරේටද, කලාතුරකින් සීමාව ඉක්මවලා දරුවෙකුට දඩුවම් දෙන්න පුළුවන්.
ඒක වැරදි එහෙම කරනවානම් නමුත් ළමයෙකුට දඩුවම් කරන්නේ, කන මිරිකන්නේ, හිමින් ටොක්කක් අනින්නේ ළමයා හදන්න මිසක් නොහදන්න නෙමෙයි.
අම්මලා තත්තලා ගෙදර දරුවන්ට කොච්චර ගහනවාද, අද නමුත් අලුත් නීති රීති හැදිලා තියෙනවා ,මානව හිමිකම් වලින් මහත්වරු හිරේ යනවා. දරුවන් හදන්න ගිහින් හිරේ යනවා. එක තමයි මේ සමාජය හැදෙන්නේ නැත්තේ.
රටක් සමාජයක් හදන්න බුදුන් වහන්සේගේ දේශනාවේත් කියලා තියෙනවා. දඩුවම, දණ්ඩනය තියෙන්න ඕනේ කියල. එනිසා තමයි මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට මම මරණ දණ්ඩනය තීන්දු කරලා, ළඟදීම ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ.”

