අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලීසියට භාරදුන් රංගන ශිල්පී රයන් වැන් රෝයන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉසුර නෙත්තිකුමාර මහතා විසින් දෙනු ලැබූ නියෝගයකට අනුව අප්‍රේල් මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස් දෙනෙකු ඊයේ දිවයිනට පැමිණි අතර එහිදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පැය 18කට අධික කාලයක් ප‍්‍රශ්න කරන ලදී.
අද අළුයම 03ට රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසිය වෙත බාර දීමට කටයුතු කර තිබිණි.
ගංජා ළඟ තබාගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාලව ප්‍රශ්න කිරීම සඳහා අද පෙරවරු 6.30 පමණ වන විට රංගන ශිල්පී රයන් වැන්රොයන් වැලිගම පොලීසිය වෙත රැගෙන ආ අතර පසුව ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.
ඔහු සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගත් සෙසු සිව්දෙනා වන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මොහොමඩ් වෂිම්ඩීන්, සීදුව පදිංචි 25 හැවිරිදි දිමුතු සුරන්ත පෙරේරා, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සුරාජ් කාවින්ද සිල්වා සහ කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි චරිත් පත්මන් කොඩිකාර යන අය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අද මුදා හැරීමට කටයුතු කර තිබිණ.

