පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ට නීතිය, සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීම පැවැති අතර, එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් ලබාදෙන්නේ නම් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඕනෑම අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට සූදානම් බවද එකසත් ජාතික පෙරමුණ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බව කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් යෝජනා කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාම් මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කර ඇත. එම අවස්ථාවේදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා විසින් සිය යෝජනාව සිදුකර ඇති අතර, කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වන තමන්ට කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙසද ඉල්ලීමක් කර තිබේ.
මේ අතර සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට එම අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස එක්සත් ජාතික පෙරමුණ පසුපෙළ මන්ත්‍රීවරුන්ද සිය අත්සන් සහිත ලිපියක් සකස් කර ජනාධිපතිවරයාට යොමු කිරීමටද කටයුතු සකස් කර තිබේ. අදාළ ලිපියට මේ වනවිට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30න් සමන්විය යුත අතර, මේ වනවිට එම ගණන සම්පූර්ණ වී ඇති බැවින් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන්නේ නම්, ඒ වෙනුවෙන් කිසියම් ඇමතිවරයෙකු ඉල්ලා අස්විය යුතුව ඇත.

