එක රටක් එක නීතියක් අදහසින් වැඩ කරමු - මනුෂ

එක රටක් එක නීතියක් අදහසින් වැඩ කරමු - මනුෂ

විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරයෙන් බලපාන නීති පද්ධතිය ඉවත් කර ඒ වෙනුවට සියලු දෙනාටම බලපාන එක් නීති පද්ධතියක් ගෙන ආ යුතු බවත් එක රටක් – එක නීතියක් යන අදහස ඇතිව කටයුතු කරන්නේ නම් කිසිදු අන්තවාදී ත‍්‍රස්තවාදයකට ලංකාව තුළ හිස එසවිය නොහැකි බවත් පාර්ලිමේන්තුවේදී අද (08) මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පැවසුවේය.

එක රටක් එක නීතියක් යන්න ජනතාවගේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බවත් මෙම ජනතා උවමානව අනුව කටයුතු නොකරන්නේ නම් එය රටට කරන මහා අපරාධයක් බවද රටේ ආරක්ෂක තත්වය ගැන පැවති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

අද දවසේ පාර්ලිමේන්තුවේ කාටවත් ඇගිල්ල දික්කරන්න අවශ්‍ය නැහැ කියලා කිව්වට හැමෝම කළේ කාට හරි ඇගිල්ල දිගු කරන එක තමයි. මේ මරණ හරහා දේශපාලනය කරන්න හැදුවා. ජීවිත ගණනාවක් නැති වුනා. අපි හොයාගෙන හොයාගෙන ගියොත් එදා සිදුවීමට කලින් දවසේ කෝල් එකක් ආවේ කාටද, කවුද ඒක දැනගත්තේ, ඒකට ක‍්‍රියාත්මක නොවුනේ ඇයි කියලා කියන්න අපිටත් පුලුවන්. හැබැයි අපි කාටවත් ඇගිල්ල දිගු කරන්න සූදානම් නෑ. මේකට සාමූහිකව අගමැතිතුමාත්, ආණ්ඩුවක් විදියටත් වගකීම දරන්න සූදානම් කියලා අගමැතිතුමාම කිව්වා.

අපි 225 දෙනාම මේකට වගකිව යුතුයි. අපි දෙසීය විසි පස් දෙනාගේම ආරක්ෂක අංශවලට ඒක දැනුම්දීලා තිබුණා. ඒක වෙනකොට දැනගන්නේ නැති වුනාට පහුවෙනිදා වෙනකොට දැනගන්න ලිපි ලැබිලා තියෙනවා. එකට අපි දෙසීය විසි පහම වගකියන්න ඔ්න.

එලියේ ඉන්න මිනිස්සු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඔ්න කියලා තමයි හිතන්නේ. මේ සිදුවුනා වගේ දේවල් සිදු නොවීමට කටයුතු නොකර එකිනෙකාට ඇගිලි දිගු කරගනිමින් නින්දිත ආකාරයට කටයුතු කරනවා නම් මිනිස්සු එහෙම හිතන එකේ වරදක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ.

මේ සිදුවීමෙන් වටිනා ජීවිත නැති වුනා. අපිට දැන් හෙට දවසේදී කරන්න තියෙන්නේ කෙටි කාලීන, දීර්ඝ කාලීන, ක‍්‍රියාමාර්ග ගැනීමයි. ඒ කියන්නේ වහාබ්වාදය හෝ වෙනත් අන්තවාදයක් මත පදනම්ව ත‍්‍රස්තවාදය ඇතිවීමට සකස්වී තිබූ බිම අපි නැති කළ යුතුයි. ත‍්‍රස්තවාදයට මූල බීජ සපුරාගැනීමට හැකි, ත‍්‍රස්තවාදයට දළුලා වැඩෙන්න හැකිවෙන පරිසරය අපි නැති කළ යුතුයි. ඒ සදහා තමයිඅපි එකතු වෙන්න ඔ්න.

මේ පරිසරය නැති කිරීමට නම් අපි හැමෝම එකතු වෙන්න ඔ්න. ශ‍්‍රී ලාංකිකයින් ලෙස එකතුවීමේදී මේ විවිධත්වය වැදගත්. සිංහල, දෙමළ, ස්ලාම්, කතෝලික, හින්දු, බෞද්ධ අපි ඒකීයත්වයක් හොයන්න ඔ්න. ඒ ඒකියත්වය හොයන්න ඔ්න එක රටක් ඇතුලේ. එක කොඩියක් ඇතුලේ. ශ‍්‍රී ලාංකික කියන අනන්‍යතාවය ඇතුලේ.

එක නීතියක්, එක රටක් යටතේ තමයි අපි කටයුතු කරන්න ඔ්න. එතකොට මේ ඉස්ලාම් අන්තවාදයට විතරක් නෙමෙයි කිසිම අන්තවාදයකට හිස එසවීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. අපි උඩරට වෙන්න පුලුවන්. පහතරට වෙන්න පුලුවන්. තේසවලාමේ නීතියෙන් බැදිලා ඉන්න පුලුවන්. කාති නීතිය වෙන්න පුලුවන්. මේ සියල්ලම පැත්තකට දාලා ශ‍්‍රී ලාංකිකයින් විදියට කතා කරන්න පුලුවන්, එක විදියට හිස නමන්න පුලුවන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදාගෙන ඒ නීති පද්ධතිය යටතේ කටයුතු කළොත් විතරයි මේ ප‍්‍රශ්ණවලට පිළිතුරු හොයන්න පුලුවන් වෙන්නේ.

අපි 1948 ඉදලා රටක් විදියට ඉදිරියට ගියේ නෑ. තිස් වසරක වාර්ගික යුද්ධයකට අපි මැදිවී සිටියා. අපි අපේ සම්පත් හරියට භාවිතා කරන්නේ නැතිව බල ලෝභී දේශපාලඥයින් සිංහල භාෂාව පමණයි කියලා පටන් අරගෙන විවිධ විදියට දෙපැත්තට බෝලේ පාස් කරගෙන ඇවිත් වර්ගවාදය වපුරාගෙන ආවා. ඒ හැදුන ඉඩ තමයි ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියාට ලංකාව ඇතුලේ බෝම්බ පුපුරවා හැරීමට යොදා ගත්තේ.

ඒ නිසා රටක් විදියට කටයුතු කරමු. අපි පාර්ලිමේන්තුව එකතුවෙලා හැමෝටම බලපාන එකම නීතියක් හදාගනිමු. එක එක ජාතීන්ට විවාහවීමේදී විවිධ වයස් සීමාවන් බලපාන, එක එක ඉඩම් නීති බලපාන ක‍්‍රමයන් වෙනස් කරමු. මේ ඇදුම අනිවාර්යෙන් අදින්න ඔ්න කියන නීති පැත්තකට දාලා ඔ්න ඇදුමක් ඇදලා යන්න පුලුවන් ක‍්‍රමයක් හදාගනිමු.

විවිධ විවිධ ජාතීන්ට, විවිධ විවිධ ආගම්වලට සීමාවූ ඇදුම් පැළදුම් වෙනුවට ශ‍්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇතිකරගනිමු. අපි ඉදිරියට අරගෙන යන්න ඔ්න මේ ශ‍්‍රී ලාංකික සංස්කෘතියයි. අපි අපේ ශ‍්‍රී ලාංකික කම ඉදිරියට ගෙන යන නීති පද්ධතියක් හදාගනිමු.

මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් පෙළඹවීමක් ඇතිවෙලා තියෙනවා. ඒ සදහා ජනතා උවමනාවක් තිබෙනවා. මේ ජනතා උවමනාව අපි පාවිච්චි නොකළොත් ඒක මේ රටට අපි කරන මහා විනාශයක් බවට පත්වෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න