සිංහරාජ විරෝධය ජය ගනී !

සිංහරාජ විරෝධය ජය ගනී !

සිංහරාජයේ අධි සංවේදී කලාපයේ මාර්ගයක් ඉදි කිරීම ඇතුළු දැවැන්ත විනාශය පරිසර සහ සිවිල් සංවිධාන වල ප්‍රබල විරෝධය නිසා තාවකාලිකව නතර කර ඇත.

ලෝක බැංකුවෙන් ණය ලබාගෙන සිදු කරන මේ එස්කෑම්ප් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වූ විරෝධය නිසා ලෝක බැංකුවේ නියෝජිතයන් මේ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, ඉන්පසු ඔවුන් මේ විනාශය සම්බන්ධයෙන් පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයෙන් විමසීමක් කර ඇත.

එසේම සිංහරාජය සුරැකීමේ ජනතා පවුර මගින් ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටද මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර, එම කොමිසම පිළිතුරු ලිපියක් එවමින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා රජය සමග මේ පිළිබදව කඩිනමින් සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

අද (28) මරදාන, සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී එම ජනතා පවුරේ සාමාජික, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ කලවාන, කුඩව සිංහරාජය පිවිසුම ආසන්නයේ ඉදි කරන මේ මාර්ගයේ ඇතැම් ස්ථාන අඩි 20 ක් දක්වා පළල් කර ඇති බවයි.

එහෙත් පරිසර අමාත්‍යාංශය පාර්ශ්වයෙන් මුලින් පැවසුවේ මේ මාර්ගය අඩි 8 ක් පළල්ව ඉදි කරන බවත්, එමගින් කිසිදු පරිසර හානියක් නොවන බවත් ය.

රවීන්ද්‍ර කාරියවසම් මහතා මේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ අමාත්‍යාංශය මගින් මේ වනවිට පරිසර සංවිධාන බිලී බෑමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව පසුගිය සතියේ සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, එහිදී මේ ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරණය කර ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා, ඔවුන්ට අල්ලස් දීමේ සූදානමක් ඇති බවද අනාවරණය කළේය. කෙසේ වෙතත් තම සිංහරාජය සුරැකීමේ ජනතා පවුරට මේ සාකච්ඡාව සදහා ආරාධනා කර නොතිබුණු බවද ඔහු පැවසීය. සිංහරාජයට පමණක් ආවේණික වටිනා ශාක පවා යට කරමින් කොන්ක්‍රීට් අතුරා ඇති බවත්, එම කරුණු තහවුරු කිරීමට තමන් සතුව සාක්ෂි ඇති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

සිංහරාජය සුරැකීමේ ජනතා පවුර නියෝජනය කරමින් වෑකදවල රාහුල හිමි, වෛද්‍ය ප්‍රසන්න කුරේ, චමින්ද ජයසූරිය සහ අසිත නිරෝෂණ මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න