ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා කඩිනමින් අවසන් කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වීමට රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණය කෙරුණු බව එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් කඩිනමින් සන්ධානයක් ගොඩනගා එහි ඡන්ද ලකුණ හා ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කිරීමත් කළ යුතු බවත් මන්ත්‍රීවරයා එහිදී පවසා තිබේ.
ඒ අනුව මෙම සාකච්ඡා සති දෙක තුනකින් අවසන් කර ඉදිරි පියවර ගැනීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව මගින් බලය දී තිබෙන බව කී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීම සඳහාත් මෙම සාකච්ඡා වේගවත් කළ යුත බව සඳහන් කළේය.
ජනාධිපති සිරිසේන මෙම සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා විය යුතුය යන්න ශ්‍රී.ල.නි.පයේ ස්ථාවරය වුවත් තවම ස්ථිර තීරණයක් ගෙන නැතැයි කී දයාසිරි මන්ත්‍රීවරයා කඩිනමින් අපේක්‍ෂකයකු නම් කරගෙන මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි ද ප‍්‍රකාශ කළේය.
එමෙන්ම තනතුරු බෙදීමේදී දෙපාර්ශවයට සාධාරණයක් වන අයුරින් කරන්නේ කෙසේද ජනාධිපති අගමැති තනතුරු දෙපාර්ශවය අතර සාධාරණ ලෙස බෙදී යනවා ද ආදිය ගැන ඉදිරියේදී සාකච්ඡා කළ යුතු බවත් ඔහු කීවේය.

