පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අදාල තේරීම් කාරක සභාවේ වාර්තාව සහ ඊට අනුබද්ධ අතුරු වාර්තාව හරහා පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට ජනාධිපති සිරිසේන නිසිලෙස සිය වගකීම් ඉටුකිරීම පැහැරහැර ඇති බවට නිර්දේශ වනු ඇති බවට මතුව ඇති බරපතල සැකය මීට හේතුවී තිබේ.
එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අදාල විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව හෝ වාර්තාව සභාගත කිරීම වැලැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මේ වන විට පොහොට්ටු පාර්ශවයේ සිටින නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සූදානමක් පවතින බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
දයාසිරි තහවුරු කරයි !
මේ සම්බන්ධව ඊයේ (28) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද අනාවරණය කර සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව හෝ අතුරු වාර්තාව රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩනොදෙන බවය.
ආණ්ඩුවේ අපේක්ෂාව !
කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අපේක්ෂාව වී ඇත්තේ පසුගිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධව පත්කල පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාවක් රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටය.
මේ බව මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ආණ්ඩු පාර්ශවයේ ඇමතිවරුන් කිහිපදෙනකු විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

