විල්පත්තු නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම විනිසුරු ප්‍රතික්ෂේප කරලා !

විල්පත්තු නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම විනිසුරු ප්‍රතික්ෂේප කරලා !

විල්පත්තුව රක්ෂිත වනාන්තරය එළිකොට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකොට තිබූ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීමට නඩුව විභාග කළ විනිසුරුවරයා අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් එම නඩුව යළි විමසීමට අභියාචනාධිකරණය ඊයේ (28) තීරණය කර ඇති බව වාර්තා වෙයි.

2015 වසරේදී පවරන ලද මෙම නඩුව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් එම පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ යළි විමසීමට මෙලෙස නියම කර ඇත.

දීර්ඝ කාලයක් පුරා විභාග කළ මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම වී තිබුණේ මීට වසරක පමණ කාලයකට පෙර වුවද, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අවස්ථා තුනකදීම කල්ගිය තත්ත්වයක් තුළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ හමුවේ මෙම පෙත්සම කැඳවන ලදුව නඩුව විභාග කළ විනිසුරුවරයා මෙහි තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කොට ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව පෙත්සම ලබන ජූලි මස 31 වැනිදා සිට අභියාචනාධිකරණ විනිසුරුන් වන ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්ධුල කරුණාරත්න ඇතුලත් විනිසුරු මඬුල්ලක් හමුවේ යළි විමසීමට නියම කෙරිනි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු නව දෙනෙකු නම් කොට තිබිණි.

රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති විල්පත්තු වනාන්තරය තුළ අනවසර ඉදිකිරීම් සිදු කිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය පරිසර නීති උල්ලංඝනය කරමින් ඉදිකර ඇති මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියම කරමින් වගඋත්තරකරුවන්ට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත.

උද්ගතව තිබූ තත්ත්වය අනුව ලබන ජූලි 31 වැනිදා සිට මෙම පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ විමසීමට නියම කළ අධිකරණය, එදින මෙම පෙත්සම යළි කැඳවීමටද නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න