පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් බිල්ලන් මවා ආණ්ඩුවට චෝදනා කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් තේරීම් කාරක සභාවේ අනාවරණය වන කරුණු මත භූමිතෙල් ගැසූ ගැරඬි වගේ දඟලමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පැවැසීය.
තේරීම් කාරක සභාවෙන් මේ ප‍්‍රහාරයේ වගකිවයුත්තා හෙළිදරව් කිරීමට බියෙන් ඒකාබද්ධ විපක්ෂය මේ තේරීම් කාරක සභාව වර්ජනය කරමින් සිටින බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මෙසේද පැවසීය.
‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට යථා තත්වයට පත්වෙමින් තිබෙනවා. ආරක්ෂක අංශ මගින් මේ වනවිට රටේ ආරක්ෂිත තත්වය තහවුරු කර තිබෙනවා. රජයක් විදියටත් එක්සත් ජාතික පෙරමුණ විදියටත් ජනාධිපතිවරයා විදේශගත වෙලා හිටියත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වහාම අවශ්‍ය පියවර ගනිමින් මේ තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා.
විපක්ෂය ආණ්ඩුවට බැණ වදිමින් මෙම තත්වය වෙනත් දිහාවකට තල්ලුකිරීමේ උත්සාහයක් තිබුණා. එහිදි අපි එක්සත් ජාතික පෙරමුණ විදියට තේරීම් කාරක සභාවක් පත් කරලා ඒ තේරිම් කාරක සභාව මගින් මේ සිද්දියේ නියම විත්තිකරුවන් නියම වගකිවයුත්තන් කවුද කියන එක ගැන රටට හෙළි කිරීමට කටයුතු කළා.
පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ වගකීම පාර්ලිමේන්තුවේ 225ටම තියනවා !
මේ සිද්ධිය සම්බන්ධව සොයාබැලීමේ වගකීම පාර්ලිමේන්තුවේ 225ටම තියෙනවා. එසේ තිබියදීත් ඒකාබද්ද විපක්ෂය දිගින් දිගටම මේ තේරීම් කාරක සභාවට විරුද්ධව කටයුතු කරමින් ගියා. පක්ෂ විපක්ෂ සියලු මන්ත‍්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් තේරීම් කාරක සභාවක් පත් කරලා එය මාධ්‍යයට විවෘත කරලා මේ රටේ ජනතාවට මේ ගැන කරුනු වාර්තා කිරිමට අවස්ථාව දුන්නම ඇයි මේ අය විරුද්ධ වෙන්නේ කියන එක තමයි අද අපිට තියෙන ප‍්‍රශ්නය.
බෝම්බ ප්‍රහාරය එල්ලවන තුරුම ආරක්ෂක මණ්ඩලය රැස්වී නෑ !
තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කළාම අපිට හුඟක් තොරතුරු වාර්තා වුනා. ආරක්ෂක මණ්ඩලය අවසන් වතාවට රැස්වුණේ පෙබරවාරි 19 දා බවත් බෝම්බය පිපිරෙනකම් මේ ආරක්ෂක මණ්ඩලය රැස්වි නොමැති බවට තේරීම් කාරක සභාවේදි හෙළිවුණා. එමෙන්ම දින 12කට පෙර මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනුම් දුන් බව බුද්ධි අංශ ප‍්‍රධානියා එහිදී පැවසුවා.
මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් දේවල් හෙලිදරව්වෙනකොට මේ ගැන එක එක ලොකු කතා කියලා බිල්ලො මවලා ආණ්ඩුවට චෝදනා කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් භූමිතෙල් ගහපු ගැරඬි වගේ දැන් දඟලනවා. දැන් ඔවුන් බයේ ඉන්නවා මේ පාස්කු ප‍්‍රහාරයේ සැබෑ වගකිවයුත්තා හෙළිදරව් වෙයි කියලා.
සහරාන් අත්අඩංගුවට ගන්න පෙර නාලක සිල්වා අත්අඩංගුවට අරගෙන !
ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ හිටපු නියෝජය පොලිස්පති නාලක සිල්වා මහතා 2018 ජූලි මාසයේ දෙවනිදා සහරාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඉල්ලනවා. එසේ තිබියදි සැප්තැම්බර් මාසයේදි ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රනයක් වෙනුවෙන් නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නවා.
නාමල් කුමාර කියලා කවුරුත් දන්නේ නැති කෙනෙක්ගේ පැමිණිල්ලක් මත තමයි මේ අත්අඩංගුවට ගැනීම කරන්නේ . ඒ අත්අඩංගුවට ගැනීම එක්ක මේ ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ඇණ හිටිනවා. බුද්ධි අංශයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන් මේ රාජකාරිය හරියට කරලා කියලා පෙනී යනවා. නමුත් ඒකට දේශපාලන නායකත්වය දෙන්න ඕන පිරිස තමන්ගේ වගකිම පැහැර හැරලා තියෙනවා.
ඉස්සරහට තව හොද දේවල් හෙළිවේවි !
තේරීම් කාරක සභාව තව ඉස්සරහට යනතෙකාට තව තව කරුනු හෙළිදරව් වේවි. ඒ හෙළිදරව් වෙනකොට මේකට වගකිවයුත්තට ගේන්න ඕන විශ්වාසභංග යෝජනාව ගේන්නේ නැතුව රිෂාද් ඇමතිවරයාව අල්ලන් ඉන්නවා.
කියමනතක් තියෙනවා මුවා ඇවිත් හේන කාලා ගියහම මුවා අල්ල ගන්න බැරිවුණහම මුවහමට තඩි බානවා වගේ වැඩක් තමයි දැන් මේ ඒකාබද්ධ විපක්ෂය කරන්නේ. මේ රටේ ජනතාවගේ විශ්වාසය වෙන පැත්තකට හරවන්න මේ යන්නේ.
ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න ඕන !
පෙබරවාරි 19න් පස්සේ ආරක්ෂක මණ්ඩලය රැස්වෙලා නැහැ. කවුද මේකේ ආරක්ෂක ප‍්‍රධානියා, ඇයි ඔහු මේ වගකීම පැහැර හැරියේ. එහෙමනම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න ඕන.
මේ වගකිවයුත්තන් ඉදිද්දි දැන් මුස්ලිම් ජනතාවට එරෙහිව විශාල ප‍්‍රචාරයක් ගෙනියනවා. අපි නිව්ස් බලපුවම නිව්ස් එකේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔක්කොම මුස්ලිම්, මුස්ලිම් කිය කිය යනවා. අද ඒ තරම් ලොකූ මුස්ලිම් විරෝධයක් මේ සමාජය තුළ ගෙනියනවා.
නැවත මේ රටේ සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරන්න මේ අය වැඩ කරගෙන යනවා. අපිට හිතෙනවා මේ වැඩපිළිවළට ජනාධිපතිවරයාගේ අනුග‍්‍රහයත් තියනවා කියලා.

