Language Switcher

V2025

විමල් වීරවංශගේ මොළය පරීක්ෂා කිරීමට යෝජනාවක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ මොළය පරීක්ෂා කල යුතු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය.

ඒ රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සභාවේ නොසිටි අවස්ථාවක පාස්කු ප්‍රහාරයත් සමඟ දෙමටගොඩ බෝම්බ පුපුරවාගත් ත්‍රස්තවාදීන් සමඟ රිෂාඩ් හිටපු අමාත්‍යවරයාගේ ඥාතීත්වයක් ඇති බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදුකල සාවද්‍ය ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසා තිබුණේ දෙමටගොඩ බෝම්බ පුපුරවාගත් පාර්ශව අතරේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ අම්මගේ සහෝදරයකුගේ දියණියක සිටි බවය.

ඒ සම්බන්ධව පසුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රතිචාර දක්වා සිටි අතර ඒ තම මවට සහෝදරයෙක් නොමැති බව පවසමිනි.

ඒ අනුව තහවුරු වූයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී වරප්‍රසාද පසුපස සැඟවී පාර්ලිමේන්තුවේ ගෞරවයද කෙළෙසන අන්දමේ මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශ සිදුකර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ සිටින මුස්ලීම් නායකයන් සම්බන්ධව වෛරී හැඟීම් ඇතිකරවන මාරාන්තික විහිළුකාරයෙකු බවය.

කෙසේ වුවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ උත්තරීතර සභාව හමුවේ දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ සිදුකරගෙන යන බවය. එසේම සහරාන්ගේ සිදුවීම සිද්ධවූ දිනයේ සිට බොරු කියමින් ජනතාව රවටා ජාතීන් අතර වෛරයක් ඇතිකිරීමට විමල් වීරවංශ කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට විමල් වීරවංශ කියූ බොරු ඔප්පු වෙමින් තිබෙන බැවින් අවම වශයෙන් තමන්ට විරුද්ධව එක පැමිණිල්ලක් පොලිසියට කිරීමට විමල් වීරවංශ කටයුතු කර නොමැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය. විමල් වීරවංශ කරන්නේ මාධ්‍ය හරහා බොරු කියමින් සිටීම පමණක් බවත් තම මවට සහෝදරයෙක් නොමැති පසුබිමක සහෝදරයෙක් සිටිනවා කියමින් දිගින් දිගටම බොරු කියන විමල් වීරවංශයේ මොළය පරීක්ෂා කිරීමට ගරු සභාව කටයුතු කලයුතු බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.