ආණ්ඩුවට ගෙදර යන්න කියන මේ කිසිම කෙනෙක් ඉක්මන් ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ නැති බවත් එසේ නොඉල්ලන්නේ ඔවුන්ට ජනාධිපති අපේක්ෂකයෙක් නැති නිසා බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.
හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ පසුගියදා අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැවැති, ප්රවෘත්ති සාකච්ඡාවේදීය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින් වර්තමාන දේශපාලනය තත්වය සහ රජයේ අභියෝග පිළිබඳව දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කරන ලදී.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළේය.
පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ අයි.එස්.අයි.එස් අන්තවාදීන්ගේ ප්‍රහාර නිසා මුළු රටම දැඩි කම්පාවට පත් වුණා පමණක් නොවෙයි මුළු ලෝකයම ශ්‍රී ලංකාව දෙසට තමන්ගේ දෑස් යොමු කළා. කිසිකෙනෙක් හිතුවේ නැහැ මේ පාස්කු ප්‍රහාරයෙන් අඩු ගානේ අවුරුදු ගණනාවක් යනතෙක් ශ්‍රී ලංකාවට ගෙඩ එන්න පුළුවන් වෙයි කියලා. නමුත් එක අතකින් අපි සැනසිල්ලට පත්වෙනවා, සති හයක් යන විට අගමැතිතුමාගේ මගපෙන්වීම යටතේ, ජනපතිතුමාගේ සැලකිල්ල යටතේ ඉතාම කෙටි කාලයකින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම සැකරුවන් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. ඒ වගේම ප්රහාරයන් සිදුකර ගැනීමේදී ඔවුන් අතරින් කිහිප දෙනෙක් ඝාතනය වුණා. ඒ අනුව අපි විශ්වාස කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශ තුළින් මේ වන විට සියලු ත්රස්තවාදීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා.
මේ සිදුවීම් සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනවා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් මේ පිළිබඳ කරුණු සොයා බැලීමත් කර හැකි ඉක්මනින් එම වාර්තාව ලබා දෙන්නත් සැලසුම්කර තිබෙනවා.
සමහරු හිතුවේ රනිල් ගෙදර යයි කියලා !
මේ අවස්ථාවේ මා සඳහන් කළ යුතුයි ආණ්ඩුවක් හැටියට අපිට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. බොහෝ දෙනෙක් හිතුවේ දැන් ආණ්ඩුව වැටෙයි, ආර්ථිකය කඩා වැටෙයි, සංචාරක ව්‍යාපාරය කඩා වැටෙයි, මේ සේරම වෙලා ආණ්ඩුව නන්නත්තාර වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර යයි කියලා.
නමුත් මම ඉතාම පැහැදිලිව කියනවා ලෝකයේ මෙවැනි ප්‍රහාර රැසක් සිදුව තිබෙනවා. අපි දන්නවා අමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට පවා ප්‍රහාර එල්ල කරලා මුළු ලෝකයක් සසල කළ ආකාරය. එදා ඇමෙරිකාව පවා දැඩි කම්පනයට පත් වුණා. අපි දැක්කා නවසීලන්තයේ සිදු වුණ දේ, ප්‍රංශයේ සිදු වුණ දේ. මේ ප්‍රහාර සමග එම රටවල් ජාතික ආරක්ෂාව සම්බන්ධ බරපතළ අර්බුදයකට ලක් වුණා. ඒත් ලංකාවේ ශ්‍රී ලංකා පොලසීය ඇතුළු ත්‍රිවිධ හමුදාව, තිස් අවුරුදු යුද්ධයට මුහුණදීලා ලබා ගත්ත ඒ අත්දැකීම් තුළින් සති හයක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කළා. මෙවැනි තත්ත්වයක්, සාර්ථකත්වයක් මීට පෙර ලෝකයේ කිසිදු තැනකින් වාර්තා වී නැහැ. ඒ ගැන මම ආණ්ඩුව ලෙස ආරක්ෂක අංශවලට මගේ ගෞරවය පුද කරනවා.
ගම්පෙරළියෙන් ගම හදන්න ලක්ෂ 3000ක් !
අද අලුත් ප්‍රවේශයක් අපිට ලැබිලා තිබෙනවා. අගමැතිතුමත් මේ ගැන සඳහන් කරලා තිබෙනවා. බොහෝ දෙනෙක් හිතුවේ ආණ්ඩුවේ සියලු සංවර්ධන කටයුතු බිඳ වැටෙයි කියලා. ඒත් ආණ්ඩුව ඒ කිසිදු සංවර්ධන කටයුක්තක් කිසිදු ආකාරයකින් නතර කළේ නැහැ, ආපස්සට ගත්තේ නැහැ.
උදාහරණයක් ලෙස “ගම්පෙරළිය” ව්‍යාපෘතිය තුළින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 3000ක් ලබාදීලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය, ප්‍රජා සුභසාධනය, යටිතල පහසුකම්, මාර්ග සංවර්ධනය ආදි වශයෙන් ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් තිබෙනවා.
ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. ඒ පසුගිය වසර 24 පුරා මේ රටේ දුක් විඳින, දීර්ඝ කාලයක් තිස්සේ සමෘද්ධි නිලධාරීන්ගේ තාඩනපීඩනවලට ලක් වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකට මේ වන විට සමෘද්ධි හිමිකම ලැබිලා තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ, ජනතා විමුක්ති පෙරමුණට, දමිළ ජාතික සන්ධානයට සම්බන්ධ ආදි වශයෙන් විශාල පිරිසකට සමෘද්ධි හිමිකම ලැබුණේම නැහැ. ලක්ෂ හයකට සමෘද්ධි හිමිකම ලබාදීමේ දැවැන්ත, දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. ඒ තුළින් මේ වන විට ගම් මට්ටමින් විශාල ප්රබෝධයක් ඇතිවෙලා තිබෙනවා.
ලක්ෂ 6කට සමෘද්ධිය !
පසුගිය 24 වසර පුරා ලක්ෂ හයක් පමණ වන මේ අඩු ආදායම්ලාභීන්ට නිමක් නැති දුක් කරදරවලට මුහුණ දෙන්න සිදු වුණා. සමෘද්ධි හිමිකම පමණක් නොවෙයි, අඩු ආදායම්ලාභීන්ට ලබා දෙන කිසිදු රාජ්‍ය සහනාධාරයක්, අඩුම ගානේ ශිෂ්‍යත්වය සමත් තම දරුවන්ට අදාළ ශිෂ්‍යාධාර මුදල පවා ලබා ගැනීමට නොහැකි වුණා. සමෘද්ධි බැංකුව මගින් ලබා දෙන ණය මුදලක් ලබා ගැනීමට නොහැකි වුණා. කොටින්ම කිවහොත් ආණ්ඩුව විසින් අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දෙන කිසිම සහනයක් ලබා ගැනීමට මේ ලක්ෂ හයකට අධික ජනතාවට නොහැකි වුණා. නමුත් මේ වන විට තමන්ගේ අයිතිය පවා නොලැබුණු මේ ලක්ෂ හයක් වන ජනතාවට එම අයිතිය ලබාදීලා තිබෙනවා.
මේ වන විට ගම්මාන තුළ දැවැන්ත සංවර්ධනයක්, ආර්ථික ප්රබෝධයක් ඇති වෙමින් තිබෙනවා. ලක්ෂ හයකට සමෘද්ධිය ලැබෙන කොට, රුපියල් ලක්ෂ 3000ක් ගමට එනකොට, ඒ මුදල්වලින් පොඩි පොඩි කොන්ත්‍රාත් කරන කොට ඒ හරහා ගමේ කුලීකරුවාගේ සිට මේසන්බාස් දක්වා, තේ කඩයේ සිට හෝටලය දක්වා මුදල් ගලා යාමක් සිදුවෙනවා. ඒ හරහා ගමේ කඬේ, හන්දියේ කඬේ වගේම ටවුමේ ව්‍යාපාරික ස්ථානවල ආදායම් වැඩිවෙලා තිබෙනවා. ව්‍යාපාරික අවස්ථා වැඩිවෙලා තිබෙනවා.
මේ තත්ත්වය දරා ගන්න බැරිව නොයෙක් නොයෙක් දේවල් කියනවා. දැන් කියනවා ආණ්ඩුව වහාම අයින් වෙන්න ඕනෑ කියලා. ලැජ්ජා නැතිව කියනවා ආණ්ඩුව ගෙදර යන්න ඕනෑ කියලා. ඒත් ඇත්තටම සිදුවිය යුත්තේ කුමක්ද ? මේ බොරදියේ මාළු බාන එකද ? එහෙම නැතිනම් ජාතියක්, රටක් මුහුණදී සිටින මේ ජාතික ව්‍යසනයෙන් ගොඩඑන්න තියෙන ආණ්ඩුවට සහයෝගය දෙන එකද ?
රට ලේ විලක් වෙනතුරු බලාසිටින විපක්ෂයක් !
1971 කැරැල්ල ගන්න. සිරිමාවෝ බණ්රනායක මැතිණිය ඒ කැරැල්ලට මුහුණ දෙන කොට එවකට විපක්ෂයේ සිට ජේ.ආර්. ජයවර්ධන මහත්තයලා ගිහින් කිව්වේ මැතිණියට ගෙදර යන්න කියලා. ඒ වගේම තමයි 1988 -89 වෙන කොට ඒ කාලේ තිබුණු ආණ්ඩුවලට විපක්ෂය උදව් කළා.
ඒත් කියන්න කනගාටුයි අද විපක්ෂය බලා ඉන්නේ මේ රට ලේ විලක් කරලා, මේ රටේ ආර්ථිකය කඩා බිඳ දාලා, දරුවන් පාසල් යන එක නතර කරලා, රජයේ සේවයෝ රාජකාරියට යනඑක නවත්වලා තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් ඉටුකර ගන්නයි.
ආණ්ඩුවට ගෙදර යන්න කියන මේ කිසිම කෙනෙක් ළඟ ළඟ එන ජනාධිපතිවරණය ගැන කතා කරන්නේ නැහැ. ජනාධිපතිවරණය කලින් තියන්න කියලා කියන්නේ නැහැ. රටේ ස්ථාවරභාවයට අවශ්‍ය ජනාධිපතිකම කියලා හිතනවා නම් ඒ ජනාධිපති වැනෙන්නේ නැති, ඉන්ද්‍රඛීලයක් වාගේ ඍජු අයෙක් විය යුතුයි. ඉස්සෙල්ලම තියන්න ඕනෑ ජනාධිපතිවරණය. දැන් කාලය ඇවිත් තියෙන්නේ ජනාධිපතිවරණයට. අවුරුදු හතරකට පස්සේ ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයකට යන්න අයිතිය ජනාධිපතිට තියෙනවා. දැන් ඒ කාලය හරි. ඒත් ඇයි මේ 2020 මාර්තු වෙනකම් හොල්ලන්නවත් බැරි පාර්ලිමේන්තුවට ගෙදර යන්න කියන්නේ. හදිසි පාර්ලිමේන්තු මැතිවරණයට යමු කියලා කියන්නේ.
විපක්ෂයත් ජනාධිපති අපේක්ෂක අර්බුදයක !
මොකක්ද ඒකට හේතුව ? ඒකට එකම හේතුව තමයි මේ අයට අද ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හොයා ගන්න බැහැ. ඒ නිසා අවධාරණාත්මකව කියන්නේ ඒකාබද්ධ විපක්ෂයට හෝ අනෙක් කණ්ඩායම්වලට වුවමනා ආකාරයට ආණ්ඩු කරන්න අපි සූදානම් නැහැ.
එයාලාගේ ඉල්ලීම්වලට අපි කන් දුන්නා. ඉඩ දුන්නා, එයාලාගේ ශ්‍රීලනිප කණ්ඩායමක් ආණ්ඩුවට එකතු කරගෙන යහපාලන ආණ්ඩුව විදිහට අපි වැඩ කළා. ඒකෙන් අපි බැටකෑවා, පක්ෂයක් විදිහට ආපස්සට ගියා. නමුත් පසුගිය ඔක්තෝබර් මාසේ 26 වැනිදා ප්රජාතන්ත්ර විරෝධී විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා, ඒක කඩා බිඳ දාලා මේ රටේ ජනාධිපතිවරයා සහ අනෙක් කණ්ඩායම් විසින් කළ ඒ කුමන්ත්‍රණය නිසා ආණ්ඩුවේ කටයුතු මාස ගාණක් ආපස්සට ගියා.
ඒ වගේම තමයි අපි දකින්නේ මේක වෙස්වලාගත් ආශිර්වාදයක්. ඒ නිසා තනි එජාප ආණ්ඩුවක් හැටියට අවුරුද්දක් හරි වැඩකරන්න අපිට වරම් ලැබුණා. ඒක දෛවෝපගත විදිහට අපිට සමෘද්ධි අමාත්‍යාංශය ලැබුණා. ඛනිජ තෙල් අමාත්‍යාංශය ලැබුණා. වෙනත් ප්‍රබල අමාත්‍යාංශ ලැබුණා. වෙනත් අමාත්‍යාංශවල තනි බලයක් ඇතිව වැඩ කරන්න ලැබුණා. ඒ නිසා අපිට තනියෙන් වැඩ කරලා වැඩ පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඒකට හොඳ උදාහරණය තමයි සමෘද්ධි අමාත්‍යාංශය.
උපාධිධාරීන්ට රැකියා 20,000ක් ලබාදීමේ වැඩපිළිවෙළක් අපිට තිබුණා. සමහරු කකුලෙන් ඇදලා ඒකට බාධා කළා. 2012 සිට උපාධිය ගෙන නිවෙස්වලට වෙලා ඉන්න තරුණ පිරිසට රැකියා අහිමි කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂය සහ ඊට බාධා කළ වෙනත් කණ්ඩායම් වගකියන්න ඕනෑ. ඒ නිසා වගකීමෙන් කියන්නේ තව නොබෝ දිනකින් මේ උපාධිධාරීන් 20,000ටම රජයේ රැකියා ලබාදෙන කොට, තවත් පුරප්පාඩු තනතුරු පුරවන විට මේ ගනුදෙනුව පහසුවෙන් බේරා ගන්න පුළුවන් වෙයි.
ඒ වගේම තමයි විපක්ෂයට තවත් කඩාකප්පල්කාරී සැලසුම් තිබුණා. යුද්ධය තිබුණ කාලෙවත් සිදු නොවුණ ආකාරයට පාසල් ටික වහලා දාන්න, රජයේ කාර්යාල කටයුතු කඩාකප්පල් කරන්න, එදා ලේක් හවුස් වටරවුමට ඇවිත් දවස් දෙකෙන් ආණ්ඩුව ගෙදර යන්න හදන තුට්ටු දෙකේ වැඩ කළා. අපි ආණ්ඩුවක් විදිහට ඒ සියලු බාධා කිරීම්වලින් බැටකෑවා, පන්නරය ලැබුවා. අපිට දැන් ශක්තිමත් දැක්මක් සහ පදනමක් තිබෙනවා. ඒ ගමන යන්න අපට ජනතාවගේ සහාය අවශ්‍යයි.
මාධ්‍යවේදීන් ඝාතනය කළ අය මාධ්‍ය මර්දනයක් ගැන බොරු කියනවා !
මේ සමගම මාධ්‍ය මර්ධනය ගැන පැතිරෙන බොරු කතා ගැනත් සඳහන් කළ යුතුයි. බොහෝ දෙනෙක් කිව්වා මාධ්‍ය මර්ධනය කරන්න පනතක් ගේනවා. ඒ තුළින් මාධ්‍ය මර්ධනය කරලා ආණ්ඩුව ඒකාධිපති වෙනවා කියලා. මේ උද්ඝෝෂණ, පිකටින්වලට බයවෙලා ආණ්ඩුව මේ මාධ්‍ය මර්ධනය ගේනවා කියලා. ඒකාබද්ධ විපක්ෂය කියන මේ කතා අහන්නත් ලැජ්ජයි. විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික යෝජනාවක් විදිහට එදා කරු ජයසූරිය මහතා තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනා වේලාවේ ඒවා අකුල ගන්න කටයුතු කළ ඇතැම් අය අද මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ අය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළ අය, පෝද්දල ජයන්තගේ කකුල් කඩපු අය අද මාධ්‍ය නිදහස ගැන කතා කරනවා.
ලෝකයේ හොඳම තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කළ, මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සටන් කළ පක්ෂයක් විදිහට අපි කිසිමදාක මාධ්‍ය නිදහසට සීමා මායිම් පනවන්නේ නැහැ කියන එක අවධාරණයෙන් සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි ජාතික ආරක්ෂාව, ජන ජීවිතය යථා පරිදි පවත්වා ගෙන යාමට යම්කිසි බාධාවක් ඇති වූ විට මාධ්‍ය සම්බන්ධයෙන් යම් සීමාවක් පැනවීමට ඕනෑම ආණ්ඩුවකට සිදුවෙනවා. ඒක මාධ්‍ය මර්ධනය කිරීමක් නොවෙයි. මම අහනවා අපි බලයට පත් වුණාට පස්සේ මොන මාධ්‍යවේදියාද පහරකෑමට ලක් වුණේ, මොන මාධ්‍යවේදියාද අතුරුදන් වුණේ, මොන මාධ්‍යවේදියාද ඝාතනය වුණේ කියලා.
මේ තරම් විද්‍යුත් මාධ්‍ය නාලිකාවලින් පැය විසි හතරෙම පහර කන ආණ්ඩුවක් තියෙනවද ? එහෙම වුණත් මේ ආණ්ඩුව ඒ මාධ්‍ය නාලිකාවලට සුළු හෝ තර්ජනයක් කළා ද ? අපේ ප්‍රතිපත්තිය වන්නේ අපිව විවේචනය කිරීමට මාධ්‍යයට නිදහස තිබෙනවා. ඒවට පිළිතුරු දීමටත් අපි සූදානම්. අපි පිළිතුරු දෙන්නේ කටින් බතල කොළ හිටවලා නෙමෙයි, අපි පිළිතුරු දෙන්නේ වැඩවලින්.
අද රටේ තොටේ ඕනෑම තැනකට ගිහින් බලන්න පුළුවන් අපි පසුගිය කාලේ කළ සංවර්ධනේ. මම පොහොට්ටුවට අභියෝග කරනවා, අවුරුදු 20ක ශ්‍රීලනිප පාලනයට ගාල්ල දිස්ත්‍රික්කයට කරන්න බැරි වුණ වැඩ කොටසක් මම ගාල්ලට කරලා තියෙනවා. අපි බොහොම නිහඬ විප්ලවයක් මේ රටේ සිදු කළා. මේක පම්පෝරි ගහගෙන, දඟලගෙන කළේ නැහැ.
තීන්දුව ජනතාව ගනියි !
අපි එහෙම කරන කොට විපක්ෂය නිහඬව හිටියේ නැහැ. පෙළපාලි ගියා, උද්ඝෝෂණ කළා, පාගමන් ගියා, කුමන්ත්‍රණ කළා. ඒත් අපි ඒ සේරම දරාගෙන අපිට ජනතාව භාර දුන්, ජනතාව අපෙන් අපේක්ෂා කළ සංවර්ධනය සිදු කළා. ඒ වගේම තමයි අපිට බලයේ ඉන්න පුළුවන් ඉදිරි කාලයත් අපි ජනතාවගේ සංවර්ධනය සහ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා.
අපි කියන්නේ විරෝධතා දක්වන අයට ඒවා ඕන තරම් කරන්න. කඩාකප්පල් වැඩත් කරන්න. ඒත් ඉදිරි මාස කිහිපය ගත වන විට ජනතාව තීරණය කරයි කළ යුත්තේ මොකක්ද කියලා. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බිඳ වැටුණු ජාතික ආරක්ෂාව මේ වන විට සියයට සියයක්ම තහවුරු කරලා තියෙනවා, රට, ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරය යළි පුනර්ජීවනය ලබමින් සිටිනවා. ඒ අනුව රජයක් ලෙස අපි අපේක්ෂා කළ, අපෙන් බලාපොරොත්තු වූ සංවර්ධන කටයුතු අපි නිසි පරිදි ඉටු කරලා ජනතාවට දුන් පොරොන්දු ඉටුකරනවා කියලා මම වගකීමෙන් යුතුව කියනවා.