මහජන බැංකුව විකුණන පුවත අසත්‍යක් - මුදල් අමාත්‍ය මංගල

මහජන බැංකුව විකුණන පුවත අසත්‍යක් - මුදල් අමාත්‍ය මංගල

ගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙන බව කියමින් රජය, මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බවට ජාතික පුවත්පත්වල පළ වූ වාර්තා මහජනතාව නොමග යවන, අසත්‍ය මෙන් ම ද්වේශසහගත ප්‍රවෘත්තියක් බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර උපුටා දක්වමින් නිකුත්කර ඇති නිවේදනයක් හරහා අමාත්‍යාංශය මේ බව සදහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

ප්‍රාග්ධන ඌනතාවක් ඇති බව හුවා දක්වමින් මහජන බැංකුවේ කොටස් විකුණා දැමීමට රජය උත්සහ දරන බවට ඇතැම් දේශපාලන පක්ෂ සහ ඔවුන්ට සම්බන්ධ බැංකු වෘත්තීය සමිති ප්‍රධානීන් උපුටා දක්වමින් මාධ්‍යවල වාර්තා කර තිබිණි. එහෙත් මහජන බැංකුව පෞද්ගලිකකරණය සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව රජය අවධාරණය කරයි.

මෙම චෝදනාවට පදනම් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පතයි. 1961 අංක 29 දරන මහජන බැංකු පනත සංශෝධන කිරීම සඳහා මෙම කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි. මෙම සංශෝධනය මගින් සිදු කෙරෙනුයේ බැංකුවේ බලයලත් ප්‍රාග්ධනය වැඩි කිරීම සහ ණයකර නිකුත් කිරීම මගින් බැංකුවට යම් මුදලක් එක් රැස් කර ගැනීම සඳහා බැංකුවට ම අවස්ථාව ලබා දෙමින් බැංකුව මූල්‍ය වශයෙන් තව දුරටත් ශක්තිමත් කිරීමයි. මෙම නව පනත සම්මත කළ පසු මහජන බැංකුව සතු කොටස් එහි සේවකයන්ට සහ තැන්පත්කරුවන් වෙත නිකුත් කරනු ලැබේ. ඉන් පරිබාහිර කිසිවෙකුට එම කොටස් නිකුත් කරන්නේ නැත.

මා විසින් 2019 අයවැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී ද මේ සම්බන්ධයෙන් මූලික අනාවරණයක් සිදු කරන ලදී. එම යෝජනාවට අනුව බැංකු මගින් කරනු ලබන මූල්‍ය සම්පාදනයෙන් ඔබ්බට ගිය ප‍්‍රාග්ධන වෙළඳපලක් සංවර්ධනය කිරීමේ දේශීය අවශ්‍යතාවයක් ජනිත කිරීමේ අරමුණ එළිදක්වන ලදී.

 එබැවින් මහජන බැංකුව පෞද්ගලිකකරණට සැරසෙනවා යැයි කීම ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති තම බංකොලොත්භාවය වසං කර ගැනීම සඳහා ජනතාව නොමග යැවීමට කරනු ලබන ද්වේශසහගත ප්‍රකාශ වේ. කෙසේ වුව ද එම මාධ්‍ය ප්‍රකාශයන්හි සඳහන් පරිදි මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමක් හෝ ඊට පිඹුරුපත් සැකසීමක් සිදුනොකරන බව අවධාරණය කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න