මරණ දඩුවමට කලින් : තිබෙන නීති ගැන ප්‍රශ්නයක් තියනවා - පාඨලී

මරණ දඩුවමට කලින් : තිබෙන නීති ගැන ප්‍රශ්නයක් තියනවා - පාඨලී

මරණ දණ්ඩනය ගේන්න කලින් කාර්යක්ෂම නීතියක් තිබෙනවාද කියන එක ගැටළුවක් බවත් නීතිය හැමට එක ආකාරයට සීග‍්‍රයෙන් කි‍්‍රයාකාරී වෙන්නේ නැති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය වෛරය මත නෙමෙයි ප‍්‍රතිපත්ති මත තීරණය කරන ජනාධිපතිවරණයක් විය යුතු බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළකර සිටියේ අමාත්‍යාංශයේ සුඛිත පුරවර ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 79 ක වියදමින් ඉදිකළ කැකිරාව පොදු වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

.අද පාර්ලිමේන්තුව ඉදිරියේ අභියෝගයක් තිබෙනවා. එය තමයි හැකි ඉක්මනින් මේ නීති සම්පාදනය කරලා ශක්තිමත් නීතිපද්ධතියක් ඇතිකරලා එළඹෙන ජනාධිපතිවරණය වෛරය මත නෙමෙයි ප‍්‍රතිපත්ති මත තීරණය කරන ජනාධිපතිවරණයක් කරන එක. මේ ක‍්‍රමයට ගියොත් එළඹෙන ජනාධිපතිවරණය තීරණය වෙන්නේ වෛරය මත, ත‍්‍රස්තවාදයේ බලපෑම මත, එයින් ඇතිවන බිය මත. ඒ වෙනුවට රටේ ණය ගෙවන්නේ කොහොමද. අනුරාධපුරයේ ජල ප‍්‍රශ්නය විසඳන්නේ කොහොමද, දරුවන්ට රැකියා ලබාදෙන්නේ කොහොමද, රට ඔදවත් තෙදවත් රටක් කරන්නේ කොහොමද කියන ප‍්‍රතිපත්ති කතාකරන ජනාධිපතිවරණයක් අපට ඕනේ නම් හැකි ඉක්මනින් නීති පනවලා මේ ත‍්‍රස්තවාදයේ ඉතිරි බිතුරු ටිකත් නැති කරලා දාලා රටේ ශක්තිමත් තත්වයක් ඊ ළඟ මාස දෙකේ ඇතිකර ගත යුතුයි. ඒ අභියෝගය පාර්ලිමේන්තුවේ සියළු පක්ෂවලට තිබෙනවා.

මරණ දඩුවම ගැන කතා !

ඒ වගේම මේ දිනවල මේ මරණ දණ්ඩනය ගැන කතා වෙනවා. මරණ දණ්ඩනය දෙනවා කියන එක අපි බෞද්ධයෝ හැටියට කල්පනා කරලා බැලූවොත්, ජීවිතය කියන එක ගත්තොත් ආපහු හරවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නිසා මේ ප‍්‍රශ්නයට ඔව්, නෑ කියලා උත්තර දෙන්න අමාරුයි. මරණ දඬුවමට පක්ෂද, විරුද්ධ ද කියලා උත්තර දෙන්න අමාරුයි. එක් පැත්තකින් මේ රටේ නීතියේ ගැටළුවක් තිබෙනවා. නඩුවක් සාමාන්‍යයෙන් අහලා ඉවර කරන්න අවුරුදු දාහතාමාරක් යනවා. අවුරුදු ගණන්, දශක ගණන් යනකොට යුක්තිය ඉටුවෙන්නේ නැහැ. ඒ නිසාම අපරාධ කරන්න, මත්ද්‍රව්‍ය ගෙන්නන්න, මිනී මරන්න, පාතාල කල්ලිවලට එතනොල්,මෙතනෝල් විකුණන්න කිසිම බයක්, සැකක් නැහැ. ඒ වගේම ඒවා දේශපාලනයට එන්නත් කිසිම බයක් සැකක් නැහැ. ඒ නිසා ඒකේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් මරණ දණ්ඩනය ගේන්න කලින් කාර්යක්ෂම නීතියක් තිබෙනවාද, ඕනෙම නඩුවක් වසර තුනකින් අහන්න පුළුවන් නීති පද්ධතියක් මේ රටේ හදා ගන්න එක තමයි වැදගත් සහ මූලික කාරණය. ඒ කාරණය ඉටු නොකරයි අපි ගමන් කරන්නේ. ඒ වගේම අපි මතක තබා ගත යුතුයි මේ කාරණය ගැන උනන්දු වෙන සමාජයන් තිබෙනවා. මේ රටෙ ප‍්‍රශ්නයක් තිබෙනවා ඒ ප‍්‍රශ්නය මරණ දණ්ඩවලින් විසඳන්න පුළුවන් එකක් නෙමෙයි, නීතිය කි‍්‍රයාත්මක වීම කාර්යක්ෂම නැහැ. නීතිය කි‍්‍රයාත්මක වීම අපක්ෂපාතී නැහැ. නීතිය කි‍්‍රයාත්මකවීම ආණ්ඩුව ස්වාධින කලා. අධිකරණය විනිසුරන් පත් කිරීමට දේශපාලන අතපෙවීම් අද නැහැ. හැබැයි නීතිය හැමට එක ආකාරයට අපක්ෂපාතීව සීග‍්‍රයෙන් කි‍්‍රයාකාරී වෙන්නේ නැහැ.

මෙම ව්‍යාපෘතිය මෙම රජය යටතේ වසර එකහාමාරකට කලින් මෙම වැඩ ආරම්භ කරලා ඔබගේ පහසුව තකා ජනතා අයිතියට පත් කරනවා. රජය විසින් මෙම අරමුදල් යොදවා තිබෙන්නේ. එම අරමුදල් වලින් උපරිම ප‍්‍රයෝජනය අපේ ජනතාව, විශේෂයෙන්ම වෙළෙඳ ප‍්‍රජාව ලබාගනියි කියා අපි බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානය නිවැරදිව නඩත්තු කරලා මේ පළාතේ ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට පත් වෙයි කියා මා ප‍්‍රාර්ථනා කරනවා. කඩ හදන එක ලේසියි, කඩ බෙදන්න ගියහම තමයි ගැටළුව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී ප‍්‍රාදේශීය සභාවේ, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු සියළු දෙනා එකතු වෙලා විවෘත ක‍්‍රමවේදයකට සුදුස්සන්ට ඒ කඩ ලබාදෙන්න කියලා. ඒ මගින් රජය වැය කළ මුදල්වලට යුක්තිය ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අත් හෝද ගන්නා දේශපාලනය !

අපේ අමාත්‍යාංශය අපි නිකං බඩු බෙදන හෝ ජනතාවට යම් යම් දේ නොමිලේ ලබාදීලා අත හෝදගන්න අමාත්‍යාංශයක් නෙමෙයි. අපි ආදායම් උපදවන, ලාභ උපදවන අමාත්‍යාංශයක්. රටේ ආර්ථිකය වෙනස් මගකට ගන්න විදේශ ආයෝජන ගෙන එන අමාත්‍යාංශයක්. නාගරික සංවර්ධන අධිකාරිය පසුගිය අවුරුදු තුනේදී ආදායම දෙගුණයකින් වැඩිකරගෙන තිබෙනවා,ලාභ තුන් හතරගුණයකින් වැඩිකරගෙන තිබෙනවා. ඒවා අපිට ගෙදර ගෙනියන්න නෙමෙයි. අපේ ජනතාවගේ ව්‍යාපෘතිවලට ප‍්‍රති ආයෝජනය කරන්න. ඒ නිසා මේ රටේ රාජ්‍ය අංශයේ ආයතන ගෙනයන්න බැහැ. පාඩුයි. සල්ලිකන බහිරවයෝ ආදී වශයෙන් තිබූ මත අපි භාරගත්ත හැම අමාත්‍යාංශයකම වෙනස් කළා. ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැනි විශාල ආයතනවල ඉඳන් අපේ පාලනය යටතේ තිබූ සෑම ආයතනයක්ම දියුණු කර පෙන්වා දුන්නා.

රට ඉදිරියට යනවා !

මේ රටට ඉදිරිය කරා යනවා නම් වියදම් කරන දේශපාලනය විතරක් හරියන්නේ නැහැ. ආදායම් උපදවන දේශපාලන අත්‍යාවශ්‍යයි. අද රුපියලක් සංවර්ධණයට වියදම් කරන විට රුපියල් 3 ක් ණය ගෙවන්න තිබෙනවා. මේ වසර, එළඹෙන වසර, 2023 දක්වා රටේ ආදායමින් 90% කට වඩා වැය වෙන්නේ ණය ගෙවන්න. ඒ නිසා රටට එවැනි ණය බරකින් යුතුව ඉදිරියට යන්න බැහැ. ඇයි රට එච්චර ණය වෙලා තිබෙන්නේ. ආදායම් ඉපදවෙන්නේ නැති තැන්වල ආයෝජනය කිරීම නිසා තමයි මේ ණය බර අපට වැඩිවෙලා තිබෙන්නේ. ඒ නිසා ඇහැට කණට පේන්න, විශාල අධිවේගී මාර්ග, වරායවල්,ගුවන්තොටුපලවල්. ක‍්‍රීඩාංගන, සම්මන්ත‍්‍රණ ශාලා, උත්සව ශාලා, පොදු ස්ථාන, උද්‍යාන ඉදිකළාට වැඩක් නැහැ ආදායම් ඉපදවෙන්නේ නැත්නම්. අන්තිමට මොකද වෙන්නේ පරිප්පු,සීනි, කිරිපිටිවලින් ලබාගන්න බදු වලින් තමයි ඒ නාස්තිකාර සංවර්ධනයට ගෙවන්න සිදුවෙන්නේ. ඒක තමයි අද අපේ රටට අත්වෙලා තිබෙන ඉරණම. ඒ නිසා ලබන දෙසැම්බර් මාසයේ පවත්වන ජනාධිපතිවරණයෙන් පත් වෙන කවර නායකයාට උනත් විශාල අභියෝගයක් තිබෙනවා ඔහුගේ ධූර කාලය ඇතුළත ඊ ළඟ වසර හතර පහ තුළ රට බංකොලොත් නොවී පවත්වා ගන්න. රට දියුණු කරන්න නෙමෙයි, රට බංකොලොත් නොවී වෙලාවට ණය ගෙවලා පවත්වාගන්න එකම අති විශාල අභියෝගයක්. ඒක අපි සියළු දෙනාම මතක තබා ගත යුතුයි.

01

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න