ලබන පාසල් වාරයේ සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක ලබාදීමට ක්‍රියාකරන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම යෝධ පියවර ගන්නා දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාව බව ද අවධාරණය කළේය.
සුහුරු පන්ති කාමර, සුහුරු පාසල් සහ ටැබ් පරිගණක පහසුකම් සලසාලමින් අනාගත ලෝකයට සරිලන පරපුරක් බිහිකරලීමට එක්සත් ජාතික පෙරමුණු රජය කැපවී සිටින බවද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ ඊයේ (27) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය, හින්දු සංස්කෘතික ශාලාවේ පැවැති උතුරු , නැගෙනහිර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවය අමතමිනි.
දැනට පරිගණක ක්ෂේත්‍රයේ රැකියා 90,000ක පුරප්පාඩු පවතින බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඒ සියලූ පුරප්පාඩු ශ්‍රී ලාංකිකයන් මඟින් පිරවීම සඳහා පසුබිම මේ අධ්‍යාපන විප්ලවය මගින් සැකසෙන බව ද සඳහන් කළේය.
මෙහිදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අවතැන්වූ පවුල් 600ක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් නිවාස හිමිකම් පත් පිරිනැමීම විශේෂත්වයක් විය.
එම උත්සවය අමතා අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා කියා සිටියේ වත්මන් රජය යටතේ උතුරු , නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු රැසක් සිදු කර තිබෙන බවත් ඒ වගේම ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරනු ඇති බවත් ය.
අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සඳහන් කළේ උපාධිධාරීන් 22,000 කට පත්වීම් ලිපි ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බවත්, ඒ අය පත් කිරීමේ දී උතුරු නැගෙනහිර - පළාත්වලට වැඩි අවධානය යොමු කළ යුතු බවත් ය.
මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ඩී. සිද්ධාර්ථන්, අබ්දුල් මහරුෆ්, ඉම්රාන් මහරුෆ්, තුරෙයි රත්නසිංහම්, සන්දිත් සමරසිංහ, එස්.එම්. තවුෆික් සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිව ඥානසෝති, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරු ඇතුලූ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් රැසක් සහභාගි වූහ.

