වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව ජූලි 18 වැනි දින කැඳවීමටත්, ඉන්පසු එම නඩුව එක දිගට විභාගයට ගැනීමටත් තීරණය කර ඇත.
මෙම නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරුවරයා විසින් ගිහාන් කුලතුංග , ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහාධිකරණ විනිසුරුවන් පත්කර ඇත.
නීතිපති දප්පුල ලිවේරා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමක් ප්‍රකාරව මෙම නඩුව විශේෂ මහාධිකරණයේ විභාගයට නියමකර තිබේ.
එවක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කටයුතු කල පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, එවක මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කල එමිල් රන්ජන් ළමාහේවා හා බන්ධනාගාර බුද්ධි ඒකකයේ කටයුතු කල ඉන්දික සම්පත් යන චූදිතයන්ට එරෙහිව එම නඩුව විභාග වේ.
ඉන්දික සම්පත් නඩුව මඟහැර සිටියි.

