Language Switcher

V2025

හිස්බුල්ලාගේ සරසවිය ගැන : FCID පරීක්ෂණ අඛණ්ඩව !

මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින විශ්වවිද්‍යාලය සඳහා සවුදි අරාබියේ සිට ඒවා ඇති ඩොලර් මිලියන 100කට අධික මුදලට සම්බන්ධ බැංකු වාර්තා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (18) ලංකා බැංකු මූලස්ථා‍නයේ ප්‍රධාන කළමනාකරුට නියෝග කර ඇත.

මීට අමතරව Batticlo campus private limited නැමැති සමාගමේ අධ්‍යක්ෂකවරු මුදල් යොදවා කොටස් වෙළෙඳපොළේ සිදු කළ ආයෝජන සම්බන්ධයෙන් වාර්තාවක් ද මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන මෙහෙයුම්කරු වෙත ද නියෝගයක් නිකුත් කර තිබේ.

Batticlo campus private limited නැමැති සමාගම මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින විශ්වවිද්‍යාලය සඳහා සවුදි අරාබියේ සිට ඩොලර් මිලියන 100කට අධික මුදලක් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ විමර්ශනයක් පවත්වන බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම නියෝග ඉල්ලා තිබිණි.

මෙම සමාගමේ වත්මන් අධ්‍යක්ෂකවරු වන මොහොමඩ් හිස්බුල්ලා අහමඩ් හිරාස් , මොහොමඩ් හිස්බුල්ලා හිෆාස් හිස්බුල්ලා මොහොමඩ් ෂාබ්දීන් මොහොමඩ් හික්රාන්, අහමඩ් මහිර් මොහොමඩ් ෆසුල් ජෆරි, මොහෙමඩ් ෆසිර් මොහොමඩ් සුරේයි, සෙයි මොහොමඩ් ස්මයිල්, තෙන්නකොන්ගේ දොන් කමල් ධර්මසිරි තේනනකොන් යන අයගේ කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධව මෙසේ අධිකරණය වාර්තා කැඳවා තිබිණි.

මෙම විශ්වවිද්‍යාලය වෙනුවෙන් ශ්‍රී ලංකා හිරා පදනම , හිරා පදනම ,Batticlo College හා Batticlo campus private limited යන සමාගම් සඳහා ලබා දි ඇති විදේශිය මුදල් නිතියානුකුලද ? එම මුදල් මගින් විශ්වවිද්‍යාල ඉදිකිරිම් පමණක් සිදු කළේ ද ? එසේ නොමැතිනම් ත්‍රස්තවාදි කටයුතු සඳහා යොදවා ගත්තා ද ? යන්න සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් පවත්වන බවට මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.

සදහම් සෙවණ ධර්මායතනය නානායක්කාර මාවත රාජගිරිය පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඉකුත් 12 වන දින මඩකලපුව පොලිස් අධිකාරි කාර්යාලය වෙත කළ පැමිණිල්ල අනුව මෙහි විමර්ශන ආරම්භ කළ බවට මූල්‍ය කොට්ඨාසය අධිකරණය වෙත වාර්තා කළේය.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිසුබුල්ලාට අයත් හිස්බුල්ලා ප්‍රයිවට් සමාගම මඩකලපුව කැම්පස් නමින් විශ්වවිදයාලයක් ඉදිකෙරෙමින් පවතින බවත්, සවුදි අරාබියේ තහනම් සංවිධානයක් ඩොල්ර් මිලියන 100ක මුදල් ලබා දී ඇති බවත් 2019/4/21 ත්‍රස්ත ප්‍රහාරය සඳහා මෙම මුදල් ලබා දී ඇත් ද ? යන්න හා ඒ සඳහා හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා සම්බන්ධ ද ? යන්න සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙසට පැමිණිලිකාර හිමි නම ඉල්ලා ඇතැයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

විශ්වවිද්‍යාල ඉඩම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් බවත්, 2019/4/22 පාසිකුඩා ප්‍රදේශයේ පවත්වාගෙන යන ද කාමි හෝටලයේ නවාතැන් ගෙන සිටි සවුදි අරාබි ජාතික අබ්දුල් හාම් මදාමි, අල්බර්කා බහාන් සාදාන් හා අල්දොරි මොහොමඩ් ඉබ්‍රහිම් යන අය හමුවීමට ඇඳිරිනීතිය බලපැවැත්වෙන අවස්ථාවේ නැඟෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා යන අය ගොස් හමුවීම හා ඔවුන් විසා නොමැතිව මෙරටට රැඳී සිටි බවට සැක සහිත බවට පැමිණිල්ලේ සඳහන්ය.

මේ සම්බන්ධව වාලච්චේන පදිංචි තාගරාජා විග්නුකාන්තන් නැමැත්තා ද ප්‍රකාශයක් ලබා දී ඇති බවට මූල්‍ය කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ඩොලර් 27,031,541 අධික මුදලක් මෙම සමාගම් ගිණුමට ලැබී ඇති බවත් සෙයික් ලයිමන් අලි ජිෆාලි 5,333,333, ෂෙයික් ෆාර්නසර් 2,897,884,සෙයික් අබ්දුල්ලා ජෆාල් 12,038,593, සෙයික් අල් රාසික් 2,897,884.50. සෙයික් හාලික් ඇඩ් ඩාවුඩ් 3,863,846.00 යන අය විශ්වවිද්‍යාලය ඉදිකිරීම සදහා ඩොලර් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Batticlo campus private limited හිමිකරු මෙම සමාගම බවට කරුණු අනාවරණ්‍ය වන බව හා ලියාපදිංචි ආයතනයක් බවටද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සිද්ධියට අදාළ විමර්ශන සඳහා අදාල බැංකු වාර්තා හා කොටස් වෙළෙඳපොළ වාර්තා අදාළ ආයතන ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා තිබිණි.