අයිඑස් ත්‍රස්තවාදය නැවත ඇති නොවීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි - අගමැති

අයිඑස් ත්‍රස්තවාදය නැවත ඇති නොවීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි - අගමැති

විධිමත් ක්‍රමවේදයක් සකස් කර අයිඑස් ත්‍රස්තවාදය නැවත ඇති නොවන ලෙස ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (21) මාතරදී පැවැසීය.

පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරෙන දිනයේ යළිත් මෙවැනි භීතියක් ඇති නොවීම සඳහා වග බලා ගැනීම සැමගේ ප්‍රාර්ථනාව බව කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවද සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියළුදෙනා මියගොස් හෝ අත්අඩංගුවේ පසුවෙන බවද රජයේ දෙවන පියවර වන්නේ නැවත ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති නොවීමට වග බලා ගන්නා බවද කීය.

ඒ වෙනුවෙන් නව නීති පද්ධතියක් අවශ්‍යවන්නේ යැයිද එංගලන්තය වැනි රට වල කෙටි කලක් ඇතුළත පහළොස් වතාවක් ත්‍රස්තවාදයට සම්බන්ධ නීති සංශෝධනය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ බුද්ධි සේවය තවත් ව්‍යාප්ත කළ යුතු අතර අනාගතයේදී මෙවැනි සිද්ධියක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා පිරිස් බලය අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ඇමරිකා දැනුම එපා යැයි ඇතැමුන් කෑගසන නමුත් තොරතුරු හුවමාරුව මෙන්ම විදේශ රට වල තාක්ෂනය අයි එස් ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ 97 වන ජාත්‍යන්තර සමුපකාර දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

ජාතික සමුපකාර ප්‍රතිපත්තිය එළි දැක්වීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සමුපකාර සංවර්ධන අමාත්‍ය බුද්ධික පතිරණගේ සහභාගිත්වයෙන් මෙහිදී සිදු කෙරිණි.

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී මෙම උත්සවය පැවැත්විණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න