A /L සඳහා වෘත්තීය විෂය ධාරාව හදාරන දරුවන්ට : රු:500ක දෛනික දීමනාවක් !

A /L සඳහා වෘත්තීය විෂය ධාරාව හදාරන දරුවන්ට : රු:500ක දෛනික දීමනාවක් !

සියලු දරුවන්ට වසර 13ක පාසල් අධ්‍යාපනයක් ලබා දීම අනිවාර්ය කිරීමේ වැඩසටහන යටතේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව සඳහා රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

2017 වසරේ සිට හඳුන්වාදුන් මේ වැඩසටහන අනාගත වැඩ ලෝකයට ගැලපෙන මානව සම්පත් මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියෙන් බිහි කිරීම අරමුණු කර ගනිමින් දියත්කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය කවරක් වුව ද, මෙම විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඕනෑම සිසුදරුවකුට අවස්ථාව සලසා තිබීම යි.

සාමාන්‍ය පෙළ සමත් අසමත් භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව ලබන සියලු සිසුන්ට නවීන වැඩ ලෝකයට ගැළපෙන වෘත්තීය විෂයයන් 26ක් අතරින් තමන් කැමති විෂයයන් 3ක් තෝරා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය, ළමා මනෝ විද්‍යාව, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, ප්‍රාසාංගික කලාව, ශිල්ප කලා, කාර්ය සිද්ධි කළමනාකරණය, විලාසිතා නිර්මාණකරණය, පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය, ආහාර නිෂ්පාදන සැලසුම් තාක්ෂණය, ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය, ලෝහ පිරිසැකසුම්, විදුලිය හා ඉලෙක්ට්‍රොනික, සංචරණය හා ආගන්තුක සත්කාරය, පේෂ කර්ම හා ඇගලුම් තාක්ෂණය ඇතුළු වෘත්තීය විෂයයන් 26ක් මෙම වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් කර තිබේ.

මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට පළමු වර්ෂයේතෝරා ගත් විෂය ක්ෂේත්‍ර තුනක් යටතේ න්‍යායාත්මක පුහුණුවක් ලබා ගැනීමටත්, දෙවැනි වර්ෂයේ දී ඒ අතරින් තමා වඩාත් කැමති විෂය තෝරා ගනිමින් රැකියාභිමුඛ පුහුණුවක් ලබාගැනීමටත් අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව, වැවිලි භෝග කළමනාකරණ ආයතනය, ක්‍රීඩා අධ්‍යයන ආයතනය ඇතුළු රජයේ පුහුණු ආයතන රැසක් මේ වනවිට වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් වෙත ආයතනික පුහුණුව ලබා දීමට කටයුතු කරයි.

සිංහල මෙන් ම දෙමළ මාධ්‍යයෙන් ද මෙම වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව ලබා දී ඇත. දෙමළ මාධ්‍යයෙන් වෘත්තීය විෂය ධාරාව ඉගැන්වීම කෙරෙන පාසල් සංඛ්‍යාව 106කි.

2017 වසරේ දී නියාමක ව්‍යාපෘතියක් ලෙස පාසල් 42ක් තෝරා ගනිමින් ආරම්භ කළ මෙම වැඩසටහන 2018 වසරේ පාසල් 154ක් ද, 2019 වසරේ පාසල් 114ක් ද සම්බන්ධ කර ගනිමින් මේ වනවිට පාසල් 310ක සාර්ථක ව ක්‍රියාවට නැංවේ. මෙම වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට වසර දෙකක පුහුණු කාලසීමාව අවසානයේ ජාතික වෘත්තීය සුදුසුකම 4 මට්ටම (NVQ Level 4) ලබා දෙන අතර, ඉන් අනතුරුව උපාධි මට්ටම තෙක් වැඩිදුර අධ්‍යාපන අවස්ථා ලබා ගැනීමට ද, දේශීය හා විදේශීය රැකියා අවස්ථා ලබාගැනීමට ද ඉඩ සැලසේ. මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවා ගැනීමට ද, පාසල්වල සුහුරු පන්තිකාමර ද ඇතුළත්ව ඉඩ පහසුකම් ලබාදීමට ද මේ වනවිට පියවර ගෙන තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න