ගෝඨාට දෙනවා කියලා කිව්වේ නෑ - මහින්ද : හේතුව සුළුජන ජන්ද !

ගෝඨාට දෙනවා කියලා කිව්වේ නෑ - මහින්ද : හේතුව සුළුජන ජන්ද !

මීළඟ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටු පාර්ශවයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂඉදිරිපත් කරන බව තමන් කිසිදු විටෙක පවසා නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (21) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

කෙසේ වුවත් පොහොට්ටු පාර්ශවයේ බහුතරයක් පවසා සිටින්නේ සිය ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවය.

ගෝඨාට සුළුජන ජන්ද නෑ !

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මෙන්ම ඔහුගේ උපදේශකයන් (තින්ක් ටෑන්ක්) අවස්ථා ගණනකදී පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නම් සුළුජාතික ජන්ද ලබාගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු එම පාර්ශවයේ නායකයන්ට අවධාරණය කර ඇති බවය. එසේ නොමැතිව කිසිම ආකාරයකට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පිරිවරා සිටින විශ්‍රාමික හමුදා නිලධාරීන් කිහිපදෙනා සහ අන්ත ජාතිවාදී කුඩා පක්ෂ නායකයන් ඔහු වටා සිටින තුරු ගෝඨාභය රාජපක්ෂට සුළුජන ජන්ද ආකාර්ශනය කරගැනීම සම්බන්ධව විශ්වාසයක් නොමැති බවත් ඔවුන් පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි.

බැසිල්ගේ සාකච්ඡා අසාර්ථකයි !

මේ අතර පසුගිය දින කිහිපයේ උතුරු නැගෙනහිර ක්‍රියාත්මක සුළුජන පක්ෂ සමඟ ඉදිරි සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂ උත්සාහ ගෙන තිබුණත් ඒ සාර්ථකවී නොමැති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉතාම කුඩා පක්ෂ සහ සංවිධාන කිහිපයක නියෝජිතයන් කිහිපදෙනෙකු පමණක් එම සාකච්ඡා සඳහා පැමිණ ඇති නමුත් ඒ කිසිවක් උතුරු නැගෙනහිර ජන්ද සම්බන්ධව තීරණාත්මක බලපෑමක් කල හැකි පක්ෂ හෝ කණ්ඩායම් නොවන බව එම පාර්ශවයේ තක්සේරුව වී තිබේ.

මේ ආකාරයට සාකච්ඡාවක් සඳහා හෝ සුළුජාතික පක්ෂ එක්කර ගැනීමට නොහැකිව ඇත්තේ පොහොට්ටුව සමඟ එක්ව සිටින ජාතිවාදී කොටස් වල බලපෑම නිසා බවත් එකී පක්ෂ සිය පැවැත්ම වෙනුවෙන් සිදුකරන මේ කටයුතු නිසා ජනාධිපතිවරණය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ සකස්කළ සැළසුම් නිසිලෙස ක්‍රියාවට නැංවීමේ දුෂ්කරතාවක් මතුව ඇති බවත් වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න