Language Switcher

V2025

පාර්ලිමේන්තු තේරීම් කමිටුවට බුද්ධි ප්‍රධානින් කැඳවීම ප්‍රශ්නයක් නෑ - ගෝඨාගේ මිලිටරි සගයන් !

රහස්‍යභාවය රැකෙන්නේ නම් පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සෙවීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත නොකර බුද්ධි අංශ ප‍්‍රධානීන් ගෙන්වීමේ වරදක් නැතැයි හිටපු වන්නි ආඥාපති ආචාර්ය බොනිෆස් පෙරේරා පවසා තිබේ.

ඔහු මේ බව පැවසුයේ ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මග සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවකදී, තේරිම් කාරක සභාව මාධ්‍යයට විවෘත නොකර බුද්ධි අංශ ප‍්‍රධානීන් ගෙන්වීමේ වරද කුමක්දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.

ජාතික ආරක්ෂාවත් ආර්ථික ආරක්ෂාව වගේම වැදගත්. ව්‍යවස්ථාවට අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම තියෙන්නේ රටේ නායකයාට. ඒ නිසා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ ඔහුයි. රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ටත්, පොලිස්පතිටත් වගකීම දැරිය යුතුයි. ඒ වගේම අගමැතිටත් වගකීමක් තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිට වගේම අගමැතිටත් වගකීමක් තියෙනවා. යුද හමුදාපතිටත් වගකීමක් තියෙනවා. මම මේක දන්නේ නැහැ කියලා කියන එන ඔහුගේ වගකීම නෙවෙයි. ඔහු සතුව තමයි රටේ ප‍්‍රධානම බුද්ධි අංශය තියෙන්නේ.

එහිදි මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට බොනිෆස් පෙරේරා මෙසේ පිළිතුරු දුන්නේය.

ප‍්‍රශ්නය - යුද සමයේ සිටි බුද්ධි අංශ ප‍්‍රධානියාත් රටම දැනගෙන හිටියා නේද?

පිළිතුර - මම හිතන්නේ නැහැ එහෙම විශාල වශයෙන් දැනගෙන හිටියා කියලා.

ප‍්‍රශ්නය - රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ජාත්‍යන්තර සමුළුවලට පවා සම්බන්ධ වෙලා ඒ රටවල නියෝජිතයොත් එක්ක ගත් ඡායාරූප පුවත්පත්වල පවා පලවී තිබෙනවා.

පිළිතුර - එහෙම වුණා නම් ඒකත් වැරදියි.

ප‍්‍රශ්නය - මාධ්‍යවලට විවෘත නොකර බුද්ධි අංශ ප‍්‍රධානීන් තේරීම් කාරක සභාවට ගෙන්වනවා නම් ඒකටත් විරුද්ධද?

පිළිතුර - එහෙම ප‍්‍රශ්නයක් නැහැ. ඒත් මේ තේරීම්කාරක සභාවේ සංයුතියේ ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක එක පැත්තකට බරයි. ඔවුන්ගෙන් මේ තොරතුරු එළියට යා හැකියි.

ප‍්‍රශ්නය - එය එක පැත්තකට බරවී තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය එය වර්ජනය කිරීම නිසානේ. ඒ නිසා තේරීම් කාරක සභාව එක පැත්තකට බරවීමේ වගකීම ඒකාබද්ධ විපක්ෂය බාරගන්න ඕන නේද? ඒ ගැන ඇයි ඔබ කතා නොකරන්නේ?

පිළිතුර - ඒක දේශපාලන තීන්දුවක්. එහෙත් ඔබ ඉදිරිපත් කරන තර්කය අපි පිළිගන්නවා.