Language Switcher

V2025

බලතල යොදා පුළුවන් නම් පාර්ලිමේන්තුව කැඳවන්න - පොහොට්ටුවෙන් ජනාධිපතිට අභියෝගයක්

බැඳුම්කර විවාදය පළාත් පාලන මැතිවරණයෙන් පසුව පැවැත්වීමට දින නියමවීම ගැන කණගාටුවීම වෙනුවට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවත් ඊට අදාළ ප්‍රතිපාදන ව්‍යවස්ථාව හරහා ජනාධිපතිවරයාට තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයකු newstube.lk වෙත පැවසීය.

පසුගියදා පැවති පක්ෂ නායක හමුවේදී බැඳුම්කර විවාදය පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදුකිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධව සිදුකළ කරුණු විමසීමේදී එම නියෝජිතයා මෙම අදහස් පළකර සිටියේය.

පරාද වෙන බව තේරුම් අරගෙන

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රී පාර්ශවය එළඹෙන මැතිවරණයෙන් තමන්ට අත්වීමට නියමිත පරාජය අවම කරගැනීම සඳහා ව්‍යාජ දුෂණ විරෝධයක් ගැන කතා කරන්නට ගෙන ඇති බවත් ඒ සියල්ල පාක්ෂිකයින් රැවටීමට වඩා දෙයක් නොවන බවත්ය.

මහින්ද සමරසිංහ කිව්වෙත් නැද්ද ?

මහින්ද සමරසිංහ අමාත්‍යවරයා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් පක්ෂ නායක රැස්වීමට සහභාගී වී පලකළ එකඟතාව ජනාධිපතිවරයා නොදැන සිටිය නොහැකි බවත් මේ ආණ්ඩුවේ දුෂණ ප්‍රතිපත්තිය මේ වන විට තෝරාගත් පාර්ශව ඉලක්ක කර දියත්වන ස්වභාවයක් ගෙන ඇති බවද එම නියෝජිතයා පැවසීය.

ජනාධිපතිගේ ප්‍රකාශය අසත්‍යක් - දිනේෂ්

එසේම තමන් මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය ලෙස පාර්ලිමේන්තුව කැඳවීමට එකඟතාව පළකර ඇති බවත් ඒ හමුවේ සිය බලතල යොදාගෙන බැඳුම්කර විවාදය මැතිවරණයට පෙර පවත්වා පෙන්වන ලෙස තම පාර්ශවය අභියෝග කරන බවය.

එසේම බැඳුම්කර විවාදය කල් දැමීම දුෂිත ප්‍රභූ කණ්ඩායමේ වැඩක් ලෙස ජනාධිපතිවරයා එල්ල කරන චෝදනාව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ප්‍රතික්ෂේප කරන අතර මන්ත්‍රීවරයා ඒ ගැන සඳහන් කරමින් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය අසත්‍යක් බවය.

 එම යෝජනාව පක්ෂ නායක හමුවේදී සම්මත වුයේ ආණ්ඩුවේ පාර්ශවයේ පොදු එකඟතාවයෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටින අතර තම පාර්ශවය එම විවාදය මැතිවරණයට පර ලබා ගැනීමට දැඩි වෙහෙසක් දැරුවත් ආණ්ඩුවේ පාර්ශවය ඊට කිසිඳු සහයක් ලබා නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.