Language Switcher

V2025

කලා කෘතියක් ඉල්ලූ ජනාධිපති ට්‍රම්ප් වෙත 'රන් වැසිකිලියක්'

ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන්ගෝ විසින් නිමවන ලද සිතුවමක් සපයන මෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීමක් බැහැර කළ නිව්යෝර්ක් හි කෞතුකාගාරයක් ඒ වෙනුවට රනින් කළ වැසිකිලියක් දිය හැකි බව දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය.

වොෂිංටන් පොස්ට් පුවත් පත කියා සිටියේ හිම ඇතිරුණු භූමි දසුනක් දැක්වෙන වැන්ගෝ ගේ සිතුවම ධවල මන්දිරය සැරසීම සඳහා දිය නොහැකි බව දන්වමින් නිව්යෝර්ක් හි ගුගන්හයිම් කෞතුකාගාරය ඊට කනගාටුව පළකර ඇති බවය.

එහෙත් ඊට විකල්පයක් ලෙස "කැරට් 18 රත්‍රන් වලින් නිමවුණු වැසිකිලියක්" පිරිනැමීම එම කෞතුකාගාරයේ යෝජනාව විණි.

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය කිසිවක් ප්‍රකාශ කර නැත.

වොෂිංටන් පොස්ට් පුවත්පතට අනුව කෞතුකාගාරයේ පාලකවරිය වන නැන්සි ස්පෙක්ටර් ධවල මන්දිරයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

 99764007 afc1fedb 16b1 4f59 81ce ac34d0989f02
සිය ඊමේල් පණිවිඩයේ ඇය සඳහන් කර තිබුණේ, "මේ සිතුවම කෞතුකාගාරයේ තන්හොයිසර් එකතුවට අයත් එකක් නිසා මේ පියවරට එක්වීමට නොහැකිවීම ගැන මට කණගාටුයි. අතිශය දුර්ලභ අවස්ථා හැරුනුකොට එම එකතුවේ අංග එහා මෙහා ගෙනයන්නේ නැහැ." යනුවෙනි.

1888 වසරේදී වැන්ගෝ විසින් නිමවන ලද එම සිතුවම එහි හිමිකරුවන්ගේ අවසරය මත සිය අනුබද්ධ ආයතනයක ප්‍රදර්ශනය කෙරෙනු ඇති බව ද එම ඊමේල් පණිවිඩයෙහි දැක්විණි.

කෙසේවෙතත්, ඉතාලි ශිල්පියෙකු වන මොරිසියෝ කටෙලාන් විසින් නිර්මාණය කරන ලද රත්‍රන් වැසිකිලිය "දිගු කාලීන ණයක් සඳහා" ධවල මන්දිරයට දිය හැකි බව ද කෞතුකාගාර පාලකවරිය දන්වා තිබේ.

"මේක ඇත්තෙන්ම වටිනාකමින් අධිකයි ඒ වගේම තරමක් බිඳෙන සුලුයි. නමුත් එය සවි කිරීම හා රැකබලා ගැනීමට අවශ්‍ය සියලු උපදෙස් අපට දිය හැකියි" යැයි ද නැන්සි ස්පෙක්ටර් කියා සිටියාය.

පුර්ණ ක්‍රියාකාරීත්වයෙන් යුතු "අමෙරිකා" ලෙස නම්කර ඇති එම ප්‍රදර්ශන භාණ්ඩය, ඇමෙරිකාවේ විශාල ධනය උපහාසයට ලක්කරන්නක් ලෙස සැළකේ.