Language Switcher

V2025

මේක කෙටි කලක් තුළ වැඩ ගොඩක් කළ ආණ්ඩුවක් - අගමැති

ලෝකයේ බොහෝ ආණ්ඩු මැතිවරණ කාලවල දී ජනතාව වෙනුවෙන් හීන සහ බලාපොරොත්තු මැව්ව ද ඒවා ඉටු කරන ආණ්ඩු ලෝකයේ ඉතා අල්ප බවත්, ලබාදුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කළ ආණ්ඩුවක් ලෙස වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හැදින්විය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවට ඔවුන්ගේ වසර 10 ක පාලන කාලය තුළ රට වෙනුවෙන් කළ නොහැකි වූ සේවය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බලය ලබාගත් සුළු කාලය තුළ ඉටු කර තිබෙන බව පෙන්වා දුන් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, ජනතා ගැටලූ විසදා රට අනාගත සංවර්ධනය කරා ගෙනයන ආණ්ඩුවකට රට නැවත බාර දෙනවා ද, එසේ නොමැති නම් රට අඳුරු යුගයකට ගෙන යන ආණ්ඩුවකට බාර දෙනවා ද යන්න ජනතාව ඉදිරියේ දී තීරණය කළ යුතු බව ද පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ අනුරාධපුර මැදඔයාමඩුව වැව සංවර්ධන කටයුතු ආරම්භ කිරීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා හානිවූවන් සඳහා වන්දි මුදල් ලබාදීම, අනුරාධපුර - මල්වතු ඔය පාලම සඳහා මුල්ගල තැබීම සහ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම ඇතුලූ වැඩසටහන් රැසකට සහභාගි වෙමිනි.

අනුරාධපුර, මැදඔයාමඩුව වැව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය.

මැදඔයාමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමත්, ඉන් පසුව පැවැත්වෙන අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට ඉඩම් හිමිකම් ලබා දීමත් උතුරු මැද පළාතේ සංවර්ධනය වෙනුවෙන් ඍජුවම සම්බන්ධ වන කාරණා දෙකක් බව පළමුවෙන් පැවසිය යුතුයි. අද දිනයේ මැදඔයාමඩුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම හරහා මේ ප්‍රදේශයට අවශ්‍ය ජලය ලැබෙනවා. ඉඩම් ඔප්පු බෙදාදීම හරහා මේ දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් හිමිකමත් ලැබෙනවා. ඒ අනුව රජරට ජීවත් වීමට අත්‍යවශ්‍ය කාරණා 02 වන ඉඩම් සහ ජලය සැපයීමට අපේ රජය කටයුතු කරමින් සිටිනවා.

එදා අතීතයේ රජරට ශිෂ්ඨාචාරය ඇති වූයේ ඉඩම් සහ ජලය මූලික කරගෙනයි. ඒ කාලයේ විශාල ඉඩම් සහ අවශ්‍ය තරම් ජලය මේ ප්‍රදේශයේ තිබුණා. නමුත් අද තත්ත්වය තරමක් වෙනස් වී තිබෙනවා. විශාල නියඟයන්ට අද මේ ජනතාවට මුහුණදෙමින් සිටිනවා. පසුගිය වසර 10 – 15 ක කාලය තුළ අවශ්‍ය වැව් ප්‍රතිසංස්කරණය කිරීම් සිදු නොවීම ඊට හේතුවයි.

1977 සිට එජාප රජය කෘෂිකර්මය වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවූවා. 1993 වන විට මහවැලි ව්‍යාපාරය අවසන් කළා. මේ සියලූ ව්‍යාපෘති හරහා මේ ප්‍රදේශයේ කෘෂිකාර්මික ජනතාවට ජලය ලබාදීමට අවශ්‍ය වැඩකටයුතු ක්‍රියාත්මක කළා. අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් කෘෂි කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශාල වැඩසටහන් වලින් පසුව ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම රජයක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර නොමැති බව මේ මොහොතේ පැවසිය යුතුයි.

අනුරාධපුරයේ වැව් 700ක් ප්‍රතිසංස්කරණයට !

එම නිසා නියඟය වැඩි වන විට, ලෝක දේශගුණික විපර්යාසයන් ඇති වන විට ඒවාට මුහුණදීම සඳහා මැදඔයාමඩුව වැව ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 700 ක් ප්‍රතිසංස්කරණය කිරීමට අපි කටයුතු කරනවා.

ලෝක බැංකුව, ජයිකා ආයතනය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා මෙම වැව් 700 ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය ආධාර උපකාර ලැබෙනවා.

මෙහි අවසන් පණිවුඩය වන්නේ මේ ප්‍රදේශයේ ජීවත් වන ඔබේ ජල ගැටළුවට පිළිතුරු ලැබෙන බවයි. ඒ අනුව ගොවිතැන් කිරීමට අවශ්‍ය ජලය ඉදිරියේ දී අපහසුවකින් තොරව ලබාගැනීමට ඔබට හැකි වෙනවා. මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම සිදු වන අතරතුරම අගෝස්තු මාසයේ අවසන් භාගය වන විට පහළ මල්වතු ඔය ජලාශයේ වැඩකටයුතුත් ආරම්භ කරනවා. ඒ ආකාරයට අනුරාධපුර දිස්ත්‍රික්කයට ජලය ලබාදීමට අවශ්‍ය සියලූ කටයුතු මේ කාල සීමාව තුළ අපි ආරම්භ කරනවා.

ඔබට ජලය අත්‍යවශ්‍යයි. ජලය අවශ්‍ය ප්‍රමාණයට නොමැති වීම නිසා ඔබට විශාල ගැටළුවලට මුහුණපෑමට සිදුව තිබෙනවා. එක් අතකින් වැව් ජලය අඩු වන අතරම, අනෙක් අතින් ජනගහන වර්ධනය වේගවත් වෙනවා. නමුත් මේ අර්බුදයට මුහුණ දෙමින් කෙසේ හෝ ගොවිතැන් කිරීමත්, අවශ්‍ය ආහාර ලබාදීමත් අපි සිදු කළ යුතුයි.

රන් මාවත් හරහා මාර්ග සංවර්ධනය !

එම විශාල අභියෝගයට ආණ්ඩුවක් ලෙස මුහුණ දෙමින් වැව් 700 ක් ප්‍රතිසංස්කරණය කිරීමත්, පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් අපි භාරගත්තා. අපේ ආණ්ඩුව කිසිම අභියෝගයකින් පලා යන්නේ නැහැ. අපි ඕනෑම අභියෝගයක් භාර ගැනීමට හා එම අභියෝග ජයගැනීමට කටයුතු කරනවා. නියඟය ඇති වන විට, දේශගුණික විපර්යාස ඇති වන විට ඒවාට විසඳුම් සෙවීම බොහෝ ආණ්ඩු විසින් අත්හැර තිබුණා. නියඟය හේතුවෙන් ඔබේ ග්‍රාමීය ආර්ථිකය කඩාවැටී තිබුණා. ඔබේ වත්කම අඩු වුණා. නමුත් නැවතත් ඔබට, ඔබේ ගමට ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා අපි වැඩසටහන් ගණනාවක් දැන් ආරම්භ කර තිබෙනවා.

ළෙඟම පාසල - හොඳම පාසලෙ වැඩසටහන යටතේ පාසල් සඳහා අවශ්‍ය පහසුකම් සහ ගොඩනැගිලි ලබාදෙනවා. “ගම්උදා” වැඩසටහන, උතුරු - නැගෙනහිර යළි පදිංචි කිරීමේ ව්‍යාපෘතිය ආදිය හරහා රටේ ජනතාවට නිවාස ලබාදෙනවා. “ගම්පෙරළිය” වැඩසටහන හරහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. “රන් මාවත්” වැඩසටහන හරහා මාර්ග ඉදිකිරීම් කටයුතු සිදු කරනවා. ඒ වගේම විමධ්‍යගත අරමුදල, “ගමට කෝටියක්” වැඩසටහන, ග්‍රාමීය ඉදිකිරීම් සහ වෙනත් සංවර්ධන වැඩසටහන් හරහා අපි ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනයට අවශ්‍ය මුදල් ලබාදෙනවා.

මීට පෙර ආණ්ඩු පැවති කාලයන්වල දී ග්‍රාමීය ඔබේ ආර්ථිකය පහත වැටුණු බව අපි දන්නවා. නමුත් වර්තමානයේ ග්‍රාමීය ආර්ථිකයට වැඩි වශයෙන් මුදල් ලබාදී ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට අපි කටයුතු කරනවා. ඉදිරියට පැමිණි සියළුම අභියෝගයන් හමුවේ නොසැලී එක්සත් ජාතික පක්ෂ රජය සාර්ථකව ඒවාට මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යමින් සිටිනවා.

කෙටි කාලයට සංවර්ධන වැඩසටහන් රැසක් !

කෘෂි කර්මාන්තය නවීකරණය කිරීමේ දැවැන්ත පියවරක් තබමින් පසුගියදා අපි නාච්චදූවේ දී ශීතාගාරයක් විවෘත කළා. එහිදී ඔබේ කෘෂි නිෂ්පාදන අපනයනය කිරීමට අවශ්‍ය ආකාරයට සැකසීම සිදු කරනවා. එවැනි තවත් අපනයන සැකසුම් ශීතාගාරයක් ඉදිරියේ දී දඹුල්ලේ ආරම්භ කරනවා. මෙවැනි වැඩසටහන් ගණනාවක් අපි ආරම්භ කරමින් සිටිනවා. රට වෙනුවෙන් මෙතරම් විශාල වැඩසටහන් රාශියක් එකවර ක්‍රියාවට නැංවීමට අපට දැන් ශක්තිය ලැබී තිබෙනවා.

මැතිවරණ සමයන්වල දී බොහෝ ආණ්ඩු ජනතාව වෙනුවෙන් හීන මවනවා. පොරොන්දු ලබාදෙනවා. නමුත් අභියෝගවලට මුහුණදෙමින් එම හීන, බලාපොරොත්තු ඉටු කළ හැකි ආණ්ඩු ලෝකයේ තිබෙන්නේ ඉතා අල්ප ප්‍රමාණයක් පමණයි. ලබාදුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරන ආණ්ඩුවක් ලෙස වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හැදින්විය හැකියි.

අපේ වැඩසටහන් සහ දේශපාලනය පිළිබඳව ඇතැමුන් දෝෂාරෝපණය කරන විට ඔවුන් දඩයම් කිරීමට අපි සුදු වෑන් එව්වේ නැහැ. අපේ රජය නිතරම සිදු කළේ බොරු ප්‍රචාරණයන් සිදු නොකර රට හමුවේ ඇති අභියෝගයන්ට පිළිතුරු සෙවීමයි.

රට ඉදිරියේ ඇති සියලූම ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් ඒවාට විසඳුම් සෙවිය යුතු යැයි මම මගේ අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. යම් ගැටළුවකට ඉක්මන් විසඳුම් සෙවීමට අපහසුතාවයක් තිබෙනවා නම් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතුයි. ඒ ආකාරයට කටයුතු කරමින් පසුගිය වසර 4 තුළ දී අපි රටට විශාල ප්‍රගතියක් අත්කර දී තිබෙනවා. ඒ සියලූ වැඩකටයුතු කිරීමට අපට හැකි වූයේ එම අවශ්‍ය මුදල් සොයා ගැනීමට අපේ රජයට හැකි වූ නිසයි.

අපි රාජ්‍ය බලය ලබාගන්නා විට රටේ මුදල් නොමැතිවීම අපට විශාල ගැටළුවක් වුණා. පසුගිය රාජපක්‍ෂ රෙජිමය ලබාගෙන තිබූ අධික ණය ප්‍රමාණය නිසාත්, එම ණය මුදල් නොගෙවීම නිසාත් ලෝකය තුළ අපි පිළිබඳ වූ විශ්වාසය බිඳවැටී තිබුණා. නමුත් ඒ විශ්වාසය, ස්ථාවරභාවය නැවතත් ඇති කරමින් අපේ රජය යටතේ සංවර්ධනයට අවශ්‍ය මුදල් ලබාගැනීමට අපට හැකි වුණා.

රට වෙනුවෙන් මුදල් සොයන අභියෝගය !

අද මේ වැඩසටහන වෙනුවෙන් ලෝක බැංකුවත්, ජයිකා ආයතනයත් ආධාර ලබාදෙන්නේ අපි ඒ ආකාරයට නැවත වතාවක් විශ්වාසය ඇති කර ගෙන තිබෙන නිසයි. රටේ ආර්ථිකය කඩා වැටෙන විට අපි පැන ගියේ නැහැ. කෙසේ හෝ රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය මුදල් සොයා ගත්තා. අපේ රජය ආර්ථිකය කඩාවැටෙන විට ඉක්මන් මැතිවරණ පවත්වා ජනතාව රැවටීම වෙනුවට තෝරා ගත්තේ කෙසේ හෝ රටේ ආර්ථිකය නඟා සිටුවීමට කටයුතු කිරීමයි. ඉදිරියට යමින් අභියෝගවලට මුහුණදෙමින් රට වෙනුවෙන් මුදල් සොයාගැනීමට හැකි ආණ්ඩුවක් බවට අද අපි පත්වී තිබෙනවා.

දැන් අපට තිබෙන්නේ රටට විදෙස් ආයෝජකයින් ගෙන්වා ගැනීමයි. විදෙස් ආයෝජන ගෙන්වා ගනිමින් රටේ ණය ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට හැකියාව තිබෙන, ඒ හරහා රට සංවර්ධනය කළ හැකි ආණ්ඩුව වන්නේ වත්මන් ආණ්ඩුව බව මම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

ඔබගේ අනාගතයට අවශ්‍ය බංකොළොත් ආණ්ඩුවක් ද, නැතිනම් චෝදනා විඳගනිමින් අවශ්‍ය මුදල් සොයා ගනිමින් රට සංවර්ධනය කරන ආණ්ඩුවක් ද යන්න පිළිබඳව ජනතාව කල්පනා කළ යුතුයි. රටේ අනාගතය තීරණය වන්නේ ඒ මතයි. අපිට දේශපාලකයින් ලෙස විවිධ සටන් පාඨ භාවිතා කළ හැකියි. සිංහල ජනතාව ආරක්‍ෂා කරනවා, දෙමළ ජනතාව ආරක්‍ෂා කරනවා යැයි විවිධ අන්තවාදී අදහස් පතුරා බලය ලබාගැනීමට උත්සහා කළ හැකියි. නමුත් අවසානයේ වැදගත් වන්නේ අන්තවාදය හෝ සටන් පාඨ නොවේ. අවසානයේ වැදගත් වන්නේ රටේ සංවර්ධනයට මුදල් සොයා ගන්නේ කෙසේද, ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කරන්නේ කෙසේද, රට වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ කෙසේද යන කාරණයයි.

අපේ ආණ්ඩුව එම කරුණු වෙත අවධානය යොමු කරමින් රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක් බව පැවසිය යුතුයි. ඔබට අවශ්‍ය වන්නේ අනාගතයේදී රට දියුණු කරන, ආර්ථිකය ශක්තිමත් කරන ආණ්ඩුවක් ද, නැතිනම් මේ කිසිවක් ක්‍රියාවෙන් ඔප්පු කර ගත නොහැකිව කට වචනයට පමණක් රටේ සංවර්ධනය සීමා කරන ආණ්ඩුවක් ද යන්න ඔබ තීරණය කළ යුතුයි.

කෘෂිකර්ම අමාත්‍යංශය භාරගෙන අනුරාධපුර ඇතුළු රට පුරාම තිබෙන වාරිමාර්ග ව්‍යාපෘති විශාල දියුණුවක් කරා ගෙන යෑමට පී හැරිසන් ඇමැතිතුමා කටයුතු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් මම එතුමාට ස්තූතිවන්ත වෙනවා.

වැව් ප්‍රතිසංස්කරණය පමණ නොව බෝග වගාව දියුණු කිරීම, කෘෂි අස්වැන්න දියුණු කිරීම, කෘෂි නිෂ්පාදන ඉහළ දැමීම, ගොවීන්ට සහන ලබාදීම ඇතුළු වැඩසටහන් රාශියක් එතුමා ක්‍රියාවට නඟමින් සිටිනවා. පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට එතුමා මා සමග විටින් විට සාකච්ඡා කළා. ඒ නිසා ඊට අවශ්‍ය මුදල් ලබාදීමට මම කටයුතු කළා. එතුමාගේ උත්සාහය නොමැති නම් අද පහළ මල්වතු ඔය වැඩසටහන සාර්ථක වන්නේ නැහැ. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මේ ප්‍රදේශයේ විශාල වෙනසක් ඇති කිරීමට එතුමා කටයුතු කර තිබෙනවා.

ඒ වගේම චන්ද්‍රාණි බණ්ඩාර ඇමැතිතුමියත් රජරට වෙනුවෙන් මුදල් යොදවමින් විශාල දියුණුවක් ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ ප්‍රදේශයේ සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලූම දෙනාට මම අවසන් වශයෙන් ස්තූති කරනවා.

මෙම අවස්ථාවට උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි, උතුරු - නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නාහිමි ඇතුළු මහා සංඝ රත්නය, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක ප්‍රධාන දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.