ෆොන්සේකාගේ වන් මෑන් ෂෝ ප්‍රශ්නවලට : මද්දුමබණ්ඩාරගෙන් සැර ප්‍රතිචාරක් !

ෆොන්සේකාගේ වන් මෑන් ෂෝ ප්‍රශ්නවලට : මද්දුමබණ්ඩාරගෙන් සැර ප්‍රතිචාරක් !

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ඊයේ (06) හිටපු නීතිය හා සාමය අමාත්‍ය , වත්මන් වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සාක්ෂි ලබා දුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඔහුගෙන් දැඩිව ප්‍රශ්න කරන අයුරු පෙනෙන්නට තිබුණි.

විශේෂයෙන් නීතිය හා සාමය වැනි අමාත්‍ය ධූරයක් දැරීමේදී එම විෂය පථයට අදාළ පසුබිම් දැනුමේ අවශ්‍යතාව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මතු කළ අතර එහිදී සාගල රත්නායක අමාත්‍යවරයා සාක්ෂි දෙමින් පැවසුවේ තමන් එම විෂයට ඇති කැමැත්ත නිසා පොත් පත් කියවීමෙන් දැනුම ලබා ගත් බවයි.

ආරක්ෂක කවුන්සිලයේදී සහරාන් හෂීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාළ උපදෙස් දීම සිදුව තිබුණත් අවසානයේ බෝම්බ පුපුරුවන තෙක් ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස හඳුනා ගැනීමට නොහැකි වීමත් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී එයද කිරීමට අපොහොසත් වීමත් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණ.

විශේෂයෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් සාගල රත්නායක අමාත්‍යවරයා පැවසුවේ තමන් නීතිය හා සාමය අමාත්‍ය ධූරය දරන අවදියේ එම විෂය පථයට අදාළ දේවල් නිසිපරිදි සිදුවූ බවයි. එම කාලය තුළ අගමැතිවරයාද ආරක්ෂක කවුන්සිලයට සහභාගී වූ බවත් ඔහු පැවසුවේය.

කෙසේවෙතත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මුල සිට අගට හැමදෙනාටම දොස් කිව නොහැකි බවත් සාගල රත්නායක අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ප්‍රශ්නය මතු වූ තැන සොයා ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔයාට දෙයි කියලා හිතුවේ - ඒත් ලැබුණේ නෑ : රුවන් ෆොන්සේකාට කියයි !

නමුත් මේ බෝම්බ පිපිරිම වළක්වා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන කාරණය මෙහි පවතින ප්‍රශ්නය බව පෙරළා සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නීතිය හා සාමය , ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයන්ට අදාලව පසුගිය සමයේ වගකීම් දැරූ අමාත්‍යවරුන් තිදෙනකු ඊයේ (06) සාක්ෂි ලබාදුන් අතර එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් ෆොන්සේකා මන්ත්‍රීවරයා විමසා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශය භාරගැනීම සඳහා එම ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් හෝ පළපුරුද්දක් ඔහුට තිබුණේද යන්නය.

තමන්ට එවැන්නක් නොමැති බව රුවන් අමාත්‍යවරයා පිළිගත්තේය. ඒ අනුව එම තනතුර ඔහුට ලබාදීම වරදක් බව කියමින් ෆොන්සේකා මහතා දීර්ඝව කරුණු දක්වන්නට වූ අතර රුවන් විජේවර්ධන අමාත්‍යවරයා අවසානයේ පැවසුවේ එම තනතුර ෆොන්සේකාටම ලැබෙතැයි තමන් ද බලාපොරොත්තුවෙන් සිටි නමුත් එය ඉටු නොවුණු බවයි.

රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ෆොන්සේකා හොඳටම අහගෙන !

සාගලගෙන් පසු නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත්වූ රංජිත් මද්දුම බණ්ඩාර සාක්ෂි ලබාදීම සිදුකළ අතර එහිදී ෆොන්සේකා මන්ත්‍රීවරයා ට නොසිතූ ප්‍රතිචාරයකට මුහුණ දෙන්නට සිදුවිය. ඒ නීතිය හා සාමය අමාත්‍යාංශය දැරීම සම්බන්ධව පූර්ව සුදුසුකම විමසීමේදී ය.

එහිදී රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

"එහෙම ප්‍රශ්නයක් නෑ. මේ රටේ පත්වෙන හැම ඇමතිවරයාටම අදාළ අංශය ගැන පළපුරුද්දක් නෑනෙ. මම රාජ්‍ය පරිපාලන ඇමතිවරයා වුණාට පරිපාලන සේවයේ නිලධාරියෙක් නෙවෙයි. නමුත් මං ඒක කළමනාකරණය කළා, ප්‍රශ්නයක් නැතිව මං ඒක කරගෙන යනවා. මං හිතන්නෙ සියලු ඇමතිවරුන් හෝ රටේ නායකයා හැටියට පත්වෙන කෙනාට වුණත් සියලු දේ ගැන දැනුමක් නෑනෙ. එතුමාගෙ තියෙන්නෙ අදාළ අයගෙන් වැඩ අරන් අවශ්‍ය තීන්දු තීරණ දෙන එක"

මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා එසේ පිළිතුරු දෙද්දී ෆොන්සේකා මන්ත්‍රීවරයා යළිත් අතීත ත්‍රස්තවාදය සහ වත්මන් භයානක තත්වය උලුප්පා පෙන්වමින් තමන්ගේ බෙරය වයාගැනීමට උත්සාහ කළත් මද්දුම බණ්ඩාර මහතා තරයේ පැවසුවේ "මං හිතන්නෙ මං උත්තර දෙන්න ඕනෙ ප්‍රශ්නත් තියෙනවා, නැති ප්‍රශ්නත් තියෙනවා. මං ඕකට උත්තර දෙන්නෙ නෑ" යනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න