ආණ්ඩුවට ස්ථාවර බලයක් හෝ ජනාධිපති බලතල නොමැතිව විවිධ අභියෝග මධ්‍යයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් පසුගිය කාලය තුළ ක්‍රියාවට නැංවීමට තමන්ට හැකි වූ බවත් ඉදිරියේදී ඒ සියලූ බලතල හා ස්ථාවර භාවයක් ඇති කරගෙන සංවර්ධනය තවත් වේගවත් කරමින් රටේ දියුණුව දස ගුණයකින් වැඩිකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ පසුගිය වසර තුළ මාවතගම මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යාපෘති දහසක වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (18) මාවතගම සාමෝදය ක්‍රීඩාංගනයේ පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී බෝයගොඩ, ශ්‍රී සුගතාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිරීක්‍ෂණයට ලක් කළේය.
අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පරගහදෙණිය ජාතික පාසලේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, මාවතගම මහලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරය සහිත සිවු මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, ඇතුගල්පුර කුමාර විද්‍යාලයේ සිවු මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම, ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම, සුන්දරාපොල කසල කළමනාකරණ ව්‍යාපෘතිය විවෘත කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම සිදු විය.
පසුව සාමෝදය ක්‍රීඩාංගනයේ පැවැති ජනහමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.
ආණ්ඩුවට පැමිණි අභියෝග !
"2015 බලයට පැමිණි අපේ ආණ්ඩුවට අභියෝග රැසකට මුහුණපෑමට සිදු වුණා. ඒ අභියෝගවලට මුහුණදෙමින් විශාල ණය බරක් ගෙවන අතර, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළා. එමෙන්ම රටේ පුළුල් සංවර්ධනයක් සිදු කළා.
අධ්‍යාපනය, සෞඛ්‍ය, යටිතල පහසුකම් දියුණු කිරීමට අපි පියවර ගත්තා. අපේ ආණ්ඩුවේ අමාත්‍යංශ හතරක් යටතේ නිවාස ඉදිකිරීම ආරම්භ කළා. උතුරේ විනාශ වුණ නිවාස වෙනුවට අලූත් නිවාස ලබාදීමට පියවර ගත්තා. වතුකරයේ ජනතාවට නිවාස ලබාදුන්නා. මෙවැනි සංවර්ධන වැඩකටයුතු රැසක් අප දියත් කළා.
රට ඉදිරියට ගෙන යෑමේ මූලික වැඩකටයුතු ආරම්භ කිරීමට අපට හැකි වුණා. දැන් තිබෙන්නේ අනාගතයට යෑමයි. ඒ සඳහා විශාල පිම්මක් ඉදිරියට තැබිය යුතුයි. අප අපනයන ආර්ථිකයක් කරා රට හැරවිය යුතුයි.
මෙතෙක් මේ ගමන් මග අප ඉදිරියට පැමිණියේ ජනාධිපති ධූරයවත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර ස්ථාවර බලයක්වත් නොමැතිවයි. ඉදිරියේදී මේ සියල්ල ලබාගෙන සංවර්ධනය වේගවත් කර රටේ දියුණුව මීට වඩා දස ගුණයකින් වැඩි කරනවා. ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා."
මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ජාති, ආගම් භේදයෙන් තොරව සියලූ ජනතාවට එකහා සමානව සලකමින් විශාල මුදල් ප්‍රමාණයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලබාදීමට පියවර ගත් නිසා රටේ පුළුල් සංවර්ධනයකට පාතැබීමට හැකිවූ බවයි.
වර්තමානය වන විට ඇතැම් බලවේග ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් බලයට ඒමට උත්සාහ දරමින් සිටින බවත් ඒ සියලූ අභියෝග ඉදිරියේදී පරාජය කර එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ බලවේගය ජනාධිපති බලතල, ස්ථාවර බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවන බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව 2014 වන විට ලෝකයෙන්ම කොංවූ රටක් බවට පත්ව තිබූ බව මෙහිදී සිහිපත් කළ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල එම තත්වයෙන් රට මුදාගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව පෙන්වාදුන්නේය.
පසුගිය කාලය තුළ විවිධ අභියෝග හා අපහසුතා මධ්‍යයේ ආණ්ඩුව විශාල සංවර්ධනයක් රටේ සිදුකර තිබෙන බවත් එවන් සංවර්ධනයක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවකට සිදු කිරීමට හැකි වී නැති බවත්, අලවතුවල අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවින්ද ජයවර්ධන, තුෂාර ඉඳුනිල් ඇතුළු දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීව සිටියහ.
{gallery}mawathagama{/gallery}

