Language Switcher

V2025

සන්ධාන සාකච්ඡා මේසයෙන් තිලංග - පියදාස දොට්ට : පොහොට්ටුවෙන් බැසිල් එයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙනුවෙන් වන සාකච්ඡාවේ ශ්‍රිලනිප පාර්ශවය නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස ඉවත්කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනූව අදාල සාකච්ඡාව හෙට (27) පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ශ්‍රිලනිප ය නියෝජනය කරන්නේ මහ ලේකම් දයාසිරි ජයසේකර, උප සභාපති මහින්ද අමරවීර සහ නියෝජ්‍ය ලේකම් ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් ය.

එසේම පොදුජන පෙරමුණ පාර්ශවයේ නියෝජිත කණ්ඩායමේ නායකත්වය සඳහා බැසිල් රාජපක්ෂ පත්ව ඇති බවත් වාර්තා වෙයි.

මීට පෙර පොහොට්ටු පාර්ශවයෙන් ඊට සහභාගී වූ ආචාර්ය ජගත් වැල්ලවත්ත ඉවත්කර තිබේ. මීට අමතරව පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම ද, මෙම සාකච්ඡා සඳහා සහභාගී වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන නව සාකච්ඡා සඳහා සහභාගී වන පිරිස මෙලෙස වෙනස් කර ඇත්තේ ජනාධිපති සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත බවත් දැනගන්නට තිබේ.

දෙපාර්ශවයේ සාකච්ඡා සඳහා ඇති සූදානම පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ අද (26) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබෙන බවත් එහිදී පක්ෂ දෙකේ සාකච්ඡා පිළිබඳව සිය පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳව අනුමැතිය ලබාගැනීමට නියමිත බවත් ය. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය පිළිබඳවත් මෙහිදි සාකච්ඡා කරන බවත් ඔහු පවසා තිබේ.

මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධව ශ්‍රිලනිප අවසන් තීන්දුව මතය අද මධ්‍යම කාරක සභාවේදී ගනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.