Language Switcher

V2025

වෙල්කම් ටු මාතර - ප්‍රසිඩන්ට් ප්‍රේමදාස ! : මංගලගේ මාතර කථාව !

වෙල්කම් ටු මාතර - ප්‍රසිඩන්ට් ප්‍රේමදාස !

මෙම ‌ඓතිහාසික රැලියේ ප්‍රධාන අමුත්තා තමුන්නාන්සේලාට අපිට අමුත්තෙක් නෙවෙයි. ගරු අමාත්‍ය ඒ වගෙම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට දිවුරුම් ‌දෙන සජිත් ප්‍රේමදාස මැතිතුමනි. මම එතුමා පිළිගත්ත වෙලාවෙ කනට කරලා කිව්වා වෙල්කම්ටු මාතර ප්‍රසිඩන්ට් ප්‍රේමදාස කියලා මොකද මම ඉතිහාසයට එකතු වෙනවා එතුමාට ජනාධිපති කියලා මුල්ම වතාවට කිව්වේ මාතරින් කියන එක දැන් ඉතිහාස පොත් වලට යම්කිසි දවසක එකතු වෙන්න ඔනේ. ඒ වගේම අද අපිත් සමඟ එකතුවෙලා ඉන්න සහෝදර මැති ඇමතිවරුනි, පළාත් සභා ගරු මන්ත්‍රීවරුනි, ප්‍රාදේශිය සභා පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුනි, මාතර දිස්ත්‍රික්කයේ මා සහෝදර අමාත්‍ය බුද්ධික පතිරන ඇමති තුමනි, මාතර දිස්ත්‍රික්කයේ සියලුම ආසන සංවිධායකවරුනි අනෙකුත් සම්භාවනීය අමුත්තනි,

සෑම ජනාධිපතිවරණයකදීම මාතර රැලිය !

අද අපිත් සමඟ එකතුවී සිටින අබාදිත රණවිරු සංවිධානේ ඒ වගේම කලා සංවිධානවල විශේෂ සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි මහත්වරුනි, අප ආදරනීය මාතරවාසී ජනතාවනි, මම 1999 ඉඳලම මේ රටේ පැවතුන සෑම ජනාධිපතිවරණයකම මහා මැතිවරණයකදීම මේ වගේ පිළිගැනීම් රැස්වීම් අපි මාතරදී තියලා තියෙනවා. 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය අපි පිළිගත්තා. ඊට පස්සේ 2005දී මහින්ද රාජපක්ෂ පිළිගත්තා. ඊට පස්සේ 2015 දී අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පිළිගත්තා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් පිළිගත්තා.

මෙහෙම ජන ගඟක් දැකලා නෑ !

හැබැයි මිත්‍රවරුනි මේ වගේ ජන ගංඟාවක් මේ වසර 30 ඇතුළතදි මාතරදී මම දැක තිබුනේ නැ. විශේෂයෙන්ම අද උදේ වෙනකොට තුබුන දේශගුණය තත්වය අනුව ඇත්තෙන්ම හිතුවා මේක කල් දාන්න වෙයිදෝ කියලා. මොකද ඊයේ රාත්‍රීයේ ඉඳලම වහිනවා. මේ පිට්ටනිය මහා වඩ වගුරක් වෙලා තිබුණා. මේ ස්ටේජ් එක ගහන අයටවත් මේක උස්සගන්න බැරුව හිටියා. ඒත් මම උදේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමාට කෝල් එකක් දුන්නම, මොකක්ද කරන්නේ 11ටත් වහිනවා. එවෙලේ එතුමා මට කියපු දේ තමයි, ස්වභාවධර්මයටවත් අපේ ගමන ආපස්සට හරවන්න දෙන්න එපා. වරුසාව වැස්සත් අව්ව පෑව්වත් මම මාතරට එනවා රැස්වීම තියන්න කිව්වා. අන්න ඒ් අනුව තමයි අද අපි මේ ‌ෙඑතාහාසික රැස්වීම අපි මාතරදී පවත්වන්නේ. මිත්‍රවරුනි ඇත්තවශයෙන් මේ රැස්වීමේ තවත් වැදගත් අංගයක් තියෙනවා. අංගයක් කියන්නේ සැමරුමක් තියෙනවා.

අගෝස්තු 23 ඓතිහාසික දිනයක් !

මොකද අදවගේ දවසක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමන්ලා අපි එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එක්ක මහා ඡන්දේ බහුතර ආසන සංඛ්‍යාවක් පිහිටුවලා, අද තමයි අපි පාර්ලිමේන්තුවේ දිවුරුම් දීලා අවුරුදු ගණනාවකට පස්සේ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් හදලා අදට හරියටම අවුරුදු හතරයි. දැන් සමහරු ඒ අවුරුදු හතරේ මොනවද කළේ කියලා අහනවා.

අවුරුදු හතරේ මොනවද කරේ !

මේ ආණ්ඩුව මොනවත් කරලා නැහැ නේද කියලා අහනවා. මම මිත්‍රවරුනි කෙටියෙන් හෝ ඒ සිහිබුද්ධිය අඩු අයට ටිකක් මතක් කරන්න ඕන . එක පැත්තකින් අපි මේ කාලය තුළ මේ රට ගොඩනැගුවේ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය කියන කුළුනු තුන උඩ. මේ වසර හතර තුලදී අපි ලබාගත්, මම නම් දකින විශාලම ජයග්‍රහණ සංවර්ධනය පැත්තෙන් අපි කරපුවා කියමු. නමුත් විශාලතම ජයග්‍රහණය තමයි අපිට අද නිදහසේ හිතන්න පුළුවන්, ලියන්න පුළුවන්, කියන්න පුළුවන්. අපේ විරුද්ධවාදීන්ට පවා මැරවර ප්‍රහාර නැතිව මාතර බෝධියට ඇවිල්ලා තමන්ගේ දේශපාලනය කරන්න පවා අපි නිදහසක් ලබා දීල තියෙනවා. මෙන්න මේ නිදහසවගේම අපි ලෝකය යලි වතාවක් දිනාගෙන තයෙනවා. හුදෙකලා වුණ රටක අපි හිටියේ. ඒ කාලේ රාජ්‍ය නායකයෝ අපිට උදවුකරන්නේ එන්නේ ස්වාසිලන්තයෙන්, උගන්ඩාවෙන් පමණයි.

මුළු ලෝකයක් ලංකාව දිනාගෙන !

නමුත් අද මුළු ලෝකයම ලංකාව වටා ඒකරාශී වෙලා තියෙනවා. ඒ නිසාම ඒ මිනීමරු මිලේච්ඡ යුගයේදී අපිට අහිමිවුණ ජීඑස්පී ප්ලස් සහනය ලැබිලා අපිට අද අලුත් රැකී රක්ෂා ලක්ෂයකට වඩා යළි වතාවක් පිහිටෙව්වා. ඒ විතරක් නෙවෙයි මේ දකුණේ අපිට යළි වතාවක් යුරෝපයට මාළු විකුනන්ණට පුළුවන් අවස්ථාවක් ලැබිලා ද ධීවර කාර්මිකයන් ඒ තුළින් අද විශාල වාසි ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මේ වගේ නිදහස් පරිසරයක් තුළ කවදාවත් නොතිබුණ සංවර්ධනයක් ලබාදීල තියෙනවා. දැන් මේගොල්ලන් කතාකරනවා මේ සංවර්ධනය ගැන. නමුත් අපි 2014 දි මිත්‍රවරුනි අපි මේ ගමන ආරම්භ කරේ රාජපක්ෂගේ නය පොට්ටනිය අපේ කරේ තියාගෙන.

වසරක් පාසා වැඩිවූ ණය කන්ද !

හැබැයි අපි මේවෙනකොට අපි ඒ ණය වසරක් වසරක් පාසා වෙලාවට හරියටම ගෙවලා ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය මේ අවුරුද්දේ ගෙවලා, අපිට ආයිමත් ණය ගෙවන්න වෙන්නේ රාජපක්ෂලා වෙනුවෙන් 2020 ඔක්තෝබර් මාසේ. නමුත් මේ අය පසුගිය කාලය තුළ රුපියල් ට්‍රිලියන 11.9 ක් තවත් අපිට නය ගෙවන්න ඉතුරුකරලා තියෙනවා. හැබැයි අපි නය ගෙවනගමන් මහා පරිමාණයේ සංවර්ධන කටයුතුවලට අතගැහුවා. මිත්‍රවරුනි මහින්ද රාජපක්ෂ අනුන්ගේ දරුවන්ට නම් දෙන්න හරි දක්ෂයි. එතුමා 1997 දී මමයි ෆවුසි ඇමතිතුමයි මුල්ගල් තියලා ආරම්භ කරපු දක්ෂිණ අධිවේගී මාර්ගය 2014 දී එයා‌ගේ නම ගහගෙන, මගේ නම තිබුණ මුල්ගලත් මේ නිල්වලා ගඟට විසිකරලයි ඒක අවසන් කළේ. ඒ අයට අනූ හතේ ආරම්භ කරපු මේ මහාමාර්ග අධිවේගී මාර්ගය හදන්න අවුරුදු 17 ක් ගියා. මේ අවුරුදු 17 දී ඒ අය මහාමාර්ග අධිවේගී මාර්ග හැදුවේ ඔය දකුණෙ අපි ආරම්භ කරපු එකයි. ගුවන්තොටු‌පළේ ඉඳලා, ඒත් ඊට ඉස්සෙල්ලා 2002 ආණ්ඩුවෙන් ආරම්භ කරපු, රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කරපු දෙක විතරයි කෙරේ. ඒ අය අවුරුදු 17 කට කිලෝමීටර් 174ක් හදනකොට මිත්‍රවරුණි අපි මේ අවුරුද්ද අවසන් වෙනකොට, මේවෙනකොටත් කිලෝමීටර් 145ක් අවස් කරලා ඉවරයි. මාතර ඉඳලා හම්බන්තොට යන අධිවේගී මාර්ගයට අපි මුල්ගල් තිබ්බේ 2016 දී අපි මුල්ගල් තියලා අපි සල්ලි හොයලා පටන් අරන් දැන් ඒක ඉවරයි අවුරුදු තුනක් යන්න ඉස්සෙලාලා .මේ නොවැම්බර් මාසේ මාතරින් හම්බන්තොටට අධිවේගී මාර්ගය අපි විවෘත කරනවා. ඒ වගේම කඩවත ඉඳලා කෙලවරපිටියට යන පාර අධිවේගී මාර්ගය කිලෝමීටර් 9.5. ඒකත් අපි 2016 දී මුදල් වෙන් කරලා ආරම්භ කරේ.

මේ සර්කියුලර් රෝඩ් එකත් අපි ඔක්තෝබර් අන්තිමට විවෘත කරාම, මාතර ඉඳලා තමුන්නාන්සේලාට ගුවන්තොටුපොළට කෙළින්ම එකපාරට පැයකුත් විනාඩි හතලිස් පහකින් ගුවන්තොටුපොළට යන්නට පුළුවන්. මේ විදිහට අපේ උඩරට මන්ත්‍රීතුමන්ලා ඇමතිතුමන්ලා දන්නවා, මේවෙනකොටත් ඒ සෙන්ට්‍රල් ඒක්ස්ප්‍රේස් වේ එකේ දෙවෙනි අදියර අවසන් වෙමින් තියෙනවා. ඒක විවෘත කරන්නේ එන මාර්තු දැනටමත් සියයට අසූවක් ඉවරයි. මේ ඔක්කොම එක්ක අපි කිලෝමීටර් 145 ක් වෙන් කරලා තියෙනවා. අපි පාරවල් හදනවා. ගෙවල් හදනවා. අපේ නිවාස ඇමතිතුමා මම නම් හිතන්නේ මේවෙනකොට තමන්ගේ පියාගේ වාර්තාවත් පසුකරමින් ඉන්නේ. මම දන්න හැටියට එතුමා 259වැනි නිවාස යෝජනා ක්‍රමය විවෘත කරා. ඒ වගේම මේ මාතර ජනතාව දැනගන්න ඔ්නේ අපි මේ හැමදෙයක් කරනකොට පාරවල් හදනකොට, එදා ගෝඨාභය වගේ හමුදාව දාලා මිනිස්සු බය කරලා ඒ තැන්වලින් පන්නන්නේ නැහැ. අපි ඒ අයට වන්දි මුදල් දීලා නීත්‍යානුකූල විදිහටයි හැම දෙයක්ම කරන්නේ. මේ හක්මන පාර පුළුල් කරන්න පසුගිය සතියේ අපි වැඩ ආරම්භ කරා. මිත්‍රවරුණි මුළු පුළුල් කිරීමටම යන්නේ රුපියල් මිලියන 760 යි. හැබැයි වන්දි මුදල විතරක් මිලියන 1333යි. අපි ජනතාව රවට්ටන්නේ නැතුව ජනතාවට ලැබිය යුතු වන්දි මුදල දුන්නා.

අලුත් යුගයක් ගේනවා කියන ගෝඨාභය !

නමුත් අලුත් යුගයක් ගෙනෙනවා කියන ගෝඨාභය ඒ කාලේ නගර සංවර්ධනය කරේ ගෝඨාභයටගේ ඉන්න ජුන්ටාව දාලා, ඒ ගෙවල්වලට ගිහිල්ලා බය කරලා උඹලා මෙතනින් ගියේ නැත්නම් මරනවායි කියලා සතපහක්වත් වනිදි ගෙවන්නේ නැතුව . මම මුදල් ඇමතිවරයා හැටියට පත්වුණායින් තමයි, ගෝඨාභයගේ කාලේ එළවපු මිනිස්සුන්ටත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් තමයි වන්දි දුන්නේ. ඒ සඳහා අපි බිලියන 35 ක් වෙන් කළා. අනිත්පැත්තෙන් ගම්පෙරළිය වගේ වැඩසටහන්වලින් අද ජනතාවට කවදාවත් නොලැබුණ සංවර්ධනයක් ලැබෙනවා. විශේෂයෙන්ම පොඩ්ඩක් බලන්න. හැම ආසනයකටම පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දරතුඩුව දක්වා තියෙන හැම ආසනයකටම අපි කෝටි 30 ක් මුදලින් ලබා දීලා මේවෙනකොට ඇත්තවශයෙන්ම මුළු රටම එකම වැඩ බිමක් බවට පත්වෙලා තියෙනවා.

උතුරේ සහ දකුණේ සංවර්ධන ව්‍යාපෘති 99726 !

මේ මොහොත වෙනකොටත් ගම්පෙරළිය යටතේ ලංකාව පුරාම කිළිනොච්චියේ ඉඳලා පේදුරුතුඩුවේ ඉඳලා දෙවුන්දර දක්වා ව්‍යාපෘති 99726 ක් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මාතර දිස්ත්‍රික්තය තුළ ගම්පෙරළිය ව්‍යාපෘති 2916 ක් ක්‍රියාත්මක වෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස, අපේ සමහර ස්වාමීන්වහන්සේලා මට පන්සල්වලට එන්න එපාය කියලත් යම් යම් නීතිරීති දානවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම සන්තෝසයි කියන්න, ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් පන්සල් සංවර්ධනය සඳහා වෙන් කරලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් කියන එක. ඇත්තවශයෙන්ම මේ මොහොත වන විට පන්සල් පල්ලි කෝවිල් 9851 ලංකාවේ අළුත් වැඩියා වෙනවා. ඒකෙන් සියයට අසූපහක්ම බෞද්ධ සිද්ධස්ථාන. මේ 9851 දියුණු කරන්න මම මිලියන 4861 ක් වෙන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි එක පැත්තකින් බෞද්ධ දර්ශනය. මම නම් කතාකරන්නේ බුද්ධාගම ගැන නෙවෙයි බෞද්ධ දර්ශනය, බුදුරජානන් වහන්නේගේ දර්ශනය ජනතාව තුළට ගෙනයෑම සඳහා මම එන අවුරුද්ද වෙනකොට මීටත් වඩා වැඩි මුදලක් පන්සල් පල්ලි කෝවිල් සඳහා වෙන් කරන බවත් මම මේ අවස්ථාවේදී කියන්න ඔ්නේ. ඒක නිසා තව එකක් කියන්න ඔ්නේ දැන් ඊට පස්සේ කවුරු ඇහුවත් කියනවා බඩු මිල වැඩීනේ, ජීවන වියදම වැඩීනේ කියලා කියනවා. මම ඒ නිසා, මේ පෙරේදා 2014 රාජපක්ෂලාගේ පවුල් පාලනය අපිට මේ රට බාරදෙනකොටත්, අනිත් පැත්තෙන් අද අවුරුදු 4 කටත් පස්සේ තියන මිලත් ගැන බැලුවම ඔය කියන දේ නෙවෙයි පෙනෙන්නේ. අවුරදු හතරකටත් පස්සේ අත්‍යාවශ්‍ය අපිට අවශ්‍ය දේවල් 2014 වඩා අඩුයි. උදාහරණයක් ගන්න අද සම්බා හාල් එක 84යි. එදා 86 , පොල් ගෙඩියක් 45 එදා. අද 38. සීනි එදා 109 යි. කිරිපිට 947 ක් මේ අම්මලා ගෙවුවා එදා අද ගෙවන්නේ 920. රතු පරිප්පුවලට මේ අම්මලා ගෙවුවා එදා 162ක්, අද අපි ගෙවන්නේ රුපියල් 100 යි. ඒ විතරක් නෙවෙයි පාන් පිටි ටිකක් රොටියක් පුච්චගන්න එදා අපි රුපියල් 97 ක් ගෙවනකොට අද ගෙවන්නේ 87යි. ගිහිල්ලා අපේ ඇමතිතුමා යටතේ තියෙන සතොසෙ බලන්න ගණන් මිලවල්. ඒ විතරක් නොවයි එදා ගෑස් 2146යි අද අපේ 1750. එතකොට ඉන්ධන. මම මිල සූත්‍රය හඳුන්වා දුන්නට පස්සේ මට බනිනවා හරියට නමුත් මම මිල සූත්‍රය හඳුන්වාදීල රජයට එන ලාබයත් අඩු කරලා තාමත් අපේ මිල අඩුයි. ඉන්ධන 92 ඔක්ටේන් එක එදා 158යි, අද 138යි. 95 ඔක්ටේන් එක එදා 165 අද 163යි, භූමිතෙල් ලීටරය එදා 83යි, අද 70යි. ඩීසල් ලීටරය එදා 118යි අද 104. සුපර් ඩීසල් එක එදා 140යි අද 138යි. අන්න ඒ නිසා ගරු මිත්‍රවරුනි රැටෙන්න එපා එක එක්කෙනාගේ බොරු ප්‍රචාරවලට. දැන් අපි අවුරුදු හතරක් තිස්සේ මේ තරම් ශක්තිමත් අත්තිවාරමක් දාලා තියෙනවා.

යහපාලනයට මුහුණදීමට සිදුවූ අභියෝග !

අපි මේ අවුරුදු හතර තිස්සේ මහා අභියෝගයන්ට මුහුණ දුන්නා. අස්වාභික අභියෝගයන්ට මුහුණ දුන්නා, ස්වාභාවික අභියෝගයන්ට මුහුණ දුන්නා, 2006 දී මහා නියඟයකට මුහුණ දුන්නා, 2016 දී 2017 දී මහා ගංවතුරකට මුහුණ දුන්නා. ඊට පස්සේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 26 ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයකට මුහුණ දුන්නා. මේ අවුරුද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරයටකට මුහුණ දීලත් අද අපි ශක්තිමත් අත්තිවාරමක් උඩ ඊළඟ පිම්මත් පනින්නයි අපි මේ රට සූදානම් කරන්නේ. ඇත්තවශයෙන්ම අවුරුදු හතරක් තිස්සේ මම කියන්න ඔ්නේ, අපි මේ කරපු සංවර්ධනයට මග පෙන්නුවේ අපේ අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා දැන් කවුරුත් බැන්නට අවුරුදු 17 ක් තිස්සේ මේ පක්ෂය ආරක්ෂාකරගෙන ආවා. බැනුම් අහගෙන, එක එක අපවාද අහගෙන ආරක්ෂා කරගෙන අවිල්ලා දැන් අපේ පක්ෂය ඊළඟ පරිවර්ථනයට සූදානම් වෙන්න ඔ්නේ. අන්න ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි ලබා දුන් මේ ශක්තිමත් පදනම උඩ ඊළඟ අදියරයට, එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන විස්සයි විස්ස ශ්‍රී ලංකාවකට ගෙන යන්නට පුළුවන් අපේ කැබිනට් මණ්ඩලයේ තරුණ නායකත්වය සජිත් ප්‍රේමදාස කියන එක අපි හැම කෙනෙක්ම පිළිගන්න ඔ්නේ. මෙතුමා එක්ක මටත් ප්‍රශ්ණ තිබුණා.

අවුරුදු 2කට පෙර කුරුදු පොලු ගබ්බය්හ්

ඇත්තෙන්ම මට මතකයි මීට අවුරුදු හයකට විතර ඉස්සෙල්ලා කුරුඳු පොල්ලක් දෙකකුත් අතට ගත්තා, එකක් දෙකක් නෙවෙයි ටිකක් වැඩිපුරත් ගත්තා නෙවෙයි ගැනුනා. නමුත් මම මේ ආණ්ඩුව පිහිටුවලා ආණ්ඩුවේ එකම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් හැටියට විශේෂයෙන්ම අද මුදල් ඇමතිවරයා හැටියට දකින දෙයක් තමයි සජිත් ප්‍රේමදාසට භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරනකොට බයක් නැතුව වෙන් කරන්න පුළුවන්, මොකද එක පැත්තකින් හොරකම් කරන්නේ නැහැ, අනික් පැත්තෙන් ඒ මුදල කාර්යක්ෂමව වියදම් කරනවා. මේ අවුරුද්දේ මුදල් සමහරක් අමාත්‍යංශ සියයට සියයට දෙකක් තුනක් අද වෙනකොටත් කරලා නැහැ. මෙතුමා දැන් වෙනකොට සියයට අසූහතකටත් වඩා වියදම් කරලා හැබැයි අපිට හැබැයි දැන් ගෙවල්වල ඉන්නත් බැහැ තවත් සල්ලි ඉල්ලනවා. ඒ තරම් උනන්දුවක් තියෙනවා. ඒ පියාගේ උරුමය එතුමාට තියෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම යළිවතාවක් මේ රට රාජපක්ෂ පවුලේ වහල් යුගයට යන එක නවත්තන්නට පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස. ගෝඨා බිය.

ගෝඨා භීෂණය !

මම නම් කියන්නේ ගෝඨාභය නෙවෙයි. මොකද භීෂණ යුගයේ බියගුල්ලෙක්. තමුන්නාන්සේලා දැන් කියන්නේ නැතුව ගෝඨාබිය කියන්න පටන්ගන්න.ගෝඨාභය බියගුළු යුගයක සංකේතයක් යළි වතාවක් දැන් මහණවෙස් අරගෙන වගේ දැන් මේ රටේ ජනාධිපති වෙන්න හදනවා. ඒ වගේම අජිත් පෙරේරායි අනිත් අයයි කිව්වා වගේ අපි බෙදිලා වෙන් වෙලා නැහැ.

අපි එක්සත් ජාතික පක්ෂය හැටියට සියලු දෙනාම එකතු වෙලායි ඉන්නේ. අන්න ඒ නිසා මම නම් විශ්වාස කරනවා ඊළඟ සතියේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී අපේ මුළු පක්ෂයම එකතුවෙලා රනිල් වික්‍රමසිංහ අපේ ආදරණීය ගෞරවනීය අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවෙන්, කරු ජයසූරිය මැතිතුමාගේ ස්තීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේ අපේක්ෂකයා බවට පත් කරනවා විතරක් නෙවෙයි, මේ වෙනකොටත් එතුමාට අපේ අනෙකුත් සහෝදර පක්ෂ සියල්ලම එතුමාට සහයෝගය ප්‍රකාශ කරලා තියෙනවා. අන්න එහෙමනම් තව සතියක් දෙකක් ඇතුළත අපි තමුන්නාන්සේලා මේ වගේ තවත් දහගුණයක් එක්ක ගෝල්ෆේස් පිටියේදී අපේ ජනාධිපති අපේක්ෂකයාත් එක්ක එනකොට, එතුමා වටේ අපේ අග්‍රාමාත්‍යතුමා, අපේ කථානායකතුමා විතරක් නෙවෙයි රමුෆ් හකීම්ලා රිෂාද් බදියුදීන්ලා මනෝ ගනේෂන්ලා දිගම්බරම්ලා රාජිත සේනාරත්නලා චම්පික රණවකලා විතරක් නෙවෙයි අපි උතුරේ ජනතාවගෙනුත් සහයෝගය අරගෙන ඇත්තවශයෙන්ම 1994 දී මේ ස්ථානයේ උයන්වත්තේදී මේ වගේම විශාල රැලියක් තියලා තම ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරපු චන්ද්‍රිකා කුමාරතුංගගේ වාර්තාවත් කඩමින් සීයට හැටපහක්වත් මේ රටේ ඡන්ද ලබාගමින් එක්සත් ජාතික පක්ෂයෙන් අපේම යූඑන්පී ජනාධිපතිවරයෙක් වසර විසිපහකට පස්සේ ලැබෙන බවට සහතික වෙමින් තමුන්නාන්සේලා සියලු දෙනාට මාගේ ස්තූතිය පිරිනමමින්, ඒ වගේම අද වරුසාව නොබලා මේ කටයුතු කරපු සියලු දෙනාට, විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බලමණ්ඩලයේ ලේකම් නලින් මහත්මයා, උපුල් නිශාන්ත මහත්මයා ඒ වගේම අපේ සමීර මහත්මයා, ඒ වගේම මේ සෙනඟ මෙතනට මාතර දිස්ත්‍රික්කයේ ගේන්නට කටයුතු කරපු ආසන සංවිධායකවරුන්, ඒ වගේම අපේ පක්ෂයේ අනෙක් නායකයන් සියලු දෙනාට ස්තූති වන්ත වෙමින් එක්සත් ජාතික පක්ෂයට ජයවේවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.