Language Switcher

V2025

රූපවාහිනිය කොල්ලකාපු සිරිසේනට : රුවන් යවපු ලියුම මෙන්න !

රුපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීම පිළිබදව සිය කනස්සල්ල පළකරමින් ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

 “ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම” යන ශීර්ෂය යටතේ ලියා ඇති එම ලිපිය අවසන් කර ඇත්තේ “අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර විෂයභාර අමාත්‍යවරයා ලෙස මා දැනුම්වත් කිරීමට කටයුතු නොකිරීම ගැන මම අතිශයින් කනගාටුවට පත්වෙමී” යනුවෙනි.

ජනාධිපතිවරයාට යොමුකර ඇති එම ලිපිය සම්පුර්ණයෙන් මෙසේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම

ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා ලෙස 2019 පෙබරවාරි 22 වැනි දින ඔබතුමා හමුවේ දිවුරුම් දීමෙන් අනතුරුව අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වත්මන් පරිපාලනය ඉවත් කරමින් සුදුසු දක්ෂ හා කාර්යක්ෂම සභාපතිවරයෙකු පත්කිරීමට මා විසින් අවස්ථා කිහිපයකදී උත්සාහ කළ අතර ඔබතුමා එම සියලු අවස්ථාවන්හිදී විවිධ හේතු දක්වමින් ඊට බාධා කළ බව ඔබතුමන්ට පෙන්වා දෙමි.

මේ වනවිට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මහා භාණ්ඩාගාරයට බරක් වෙමින් මාසයකට රුපියල් කෝටි 05 කට අධික පාඩුවක් ලබමින් තිබෙන බව විගණන වාර්තා අනුව පැහැදිලි වෙයි. මාධ්‍ය සමීක්ෂණ වාර්තා අනුව ජාතික රූපවාහිනිය මේ වනවිට ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් චැනල අතර 06 වැනි ස්ථානයට වැටී තිබේ. ජාතික රූපවාහිනිය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ශනය දිනාගත් නාළිකාවක් බවට පත්කිරීමට වර්තමාන සභාපතිනිය අපොහොසත් වී ඇති බව මෙයින් ඔබට පැහැදිලි වනු ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ බහුතර සේවකයන්ද සාක්ෂි දරනු ඇත.

කරුණු එසේ තිබියදීත් ඔබතුමා විසින් නිකුත් කළ 2019/10/09 දින අංක 2140/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කරල ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර ගැනීම ගැටලු සහගත තත්ත්වයක් බවහැඟී යයි. ඉතිහාසයේ කිසිදු දිනක, රට අතිශය දරුණු යුද්ධයකට මැදිව තිබුණු අවස්ථාවකදී හෝ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර නොගත් බවද කනගාටුවෙන් පෙන්වා දෙමි. ඒ අනුව ඔබතුමාගේ මෙම තීරණය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තර්ජනයකට ලක්වීමක් ලෙස අර්ථ දැක්වීම නතර කළ නොහැකි බවද මගේ අදහසයි.

ජාතික ආරක්ෂාව තහවුරු කරමින්, ජනතාව අතර සාමය, සමගිය සහ සංහිඳියාව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතයෙන් වර්ධනය කිරීමටත් අතිනවීන තාක්ෂණය යොදා ගනිමින් ජනතාවගේ රසඥතාව වර්ධන කිරීම හා උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීම සඳහා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සිදුකළ බව ගැසට් නිවේදනයේ සඳහන් වුවද ගෙවී ගිය වසර 4 ක කාලයේ තුළදී ඔබතුමන් ඒ පිළිබඳව කිසිදු විටක මැදිහත් නොවූ බවද මතක් කරමි. එමෙන්ම උසස් මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අපේක්ෂා කරන ඔබතුමන් අවම සදාචාරය හෝ ආරක්ෂා කරමින් අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර විෂයභාර අමාත්‍යවරයා ලෙස මා දැනුම්වත් කිරීමට කටයුතු නොකිරීම ගැන මම අතිශයින් කනගාටුවට පත්වෙමී.

ස්තුතියි

මිට විශ්වාසී

රුවන් විජේවර්ධන