අධ්‍යාපනය වෙනුවෙන් කවුරුත් නොකළ වැඩ කොටසක් මේ ආණ්ඩුව කළා - අගමැති 

අධ්‍යාපනය වෙනුවෙන් කවුරුත් නොකළ වැඩ කොටසක් මේ ආණ්ඩුව කළා - අගමැති 

කිසිදු දරුවෙකු  අත් නොහැර සැමට අධ්‍යාපන අවස්ථා සලසාදීම වත්මන් ආණ්ඩුවේ අරමුණ වී තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිදහස් ලංකාවේ කිසිදු ආණ්ඩුවක් සිදු නොකළ වැඩකොටසක් වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් සිදුකර තිබෙන බව පවසයි.

මීට පෙර පාසල් ගොඩනැගිලි 200 විවෘත කිරීමට වසර දෙක තුනක් ගතවුවත් වත්මන් ආණ්ඩුව යටතේ එවැනි ගොඩනැගිලි 500 එක් දිනකදී විවෘත කිරීමට හැකි වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාසල්වල භෞතික හා මානව සම්පත් වර්ධනය කිරීම තුලින් අපේක්ෂා කරන්නේ දරු පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බව පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන දස දහසක් වැය කරමින් රටේ විවිධ ප්‍රදේශවල ඉදිකරන ලද පාසල් ගොඩනැගිලි 500ක් සිසු ගතකිරීමේ ජාතික උත්සවයට පසුගියදා එක් වෙමිනි.

මෙම උත්සවය කහතුඩුව වෙනිවැල්කොළ "ශිෂ්‍යෝදා", විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන පිළිබද ජාතික ආයතනයේ දී පැවති අතර මෙම ආයතනයේ ගොඩනැගිලි 03ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සංකේතාත්මකව විවෘත කරනු ලැබීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.

කිසිඳු දරුවෙකු අතනොහැර සැමට වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ සංකල්පය අද දින සංකේතවත් කිරීමට අපි ක්‍රියා කරනු ලැබුවා.  මෙම ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන පිළිබද ජාතික ආයතනය විවෘත කිරීම තුළින් අපි රටට පෙන්වා දෙන්නේ සියලූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනයට ඇතුළත් කිරීමේ අපේ ව්‍යායාමයයි. මෙය ඉතාම වැදගත් කටයුත්තක්. ප්‍රථමයෙන් මෙම ආයතනයේ සියලූ දෙනාගේ කැපවීම පිළිබඳව මාගේ ප්‍රශංසාව පුද කරනවා.

මා නිදහස් අධ්‍යාපනය තුළින් බිහිවූ පුද්ගලයෙක්. මම උසස් අධ්‍යාපනය ලබාගත්තේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකින්. නමුත් සියලූ දෙනාට එක හා සමාන අධ්‍යාපන අවස්ථා සහ පහසුකම් නොලැබෙන බව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගනිමින් සිටිය දී මට අවබෝධ වුණා. පාසල් යාමට පවා අවස්ථාව නොලැබෙන බොහෝ පිරිසක් එකල සිටියා.

එම තත්වයට පිළියම් සෙවීමට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු මට අවස්ථාව උදා වුණා. පළමුව ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා නොමිලේ පාසල් පොත් ලබා දුන්නා. අනතුරුව පාසල් ගොඩනැගිලි, ගුරුවරුන් ලබාදීමට මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ක්‍රියාකරනු ලැබුවා.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ අවස්ථාව නොමැති බව පසුව මට වැටහුණා. එම නිසා ස්වීඩනයේ සීඩා ආයතනය සමග සාකච්ඡා කොට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන අංශය ආරම්භ කිරීමට අපිට හැකිවුණා. අද වන විට එම වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබීම පිළිබඳව මම සතුටු වනවා.

කිසිම ශිෂ්‍යයෙකු අත් නොහරින මෙම වසර 13 අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලිය අපි ඉදිරියටම ගෙන යනවා. ගිහි ශිෂ්‍යයන්ට මෙන්ම, පැවිදි ශිෂ්‍යයන් වෙනුවෙන් ද වසරක 13 අඛණ්ඩ අධ්‍යාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් පිරිවෙන් අධ්‍යාපනයට ද එය ඇතුළත් කරනු ලැබුවා. අප රජය යටතේ මේ ආකාරයට අධ්‍යාපන වැඩසටහන ඉදිරියට ගෙන ගියා. එම වැඩපිළිවෙල අද වන විට ඉතා සාර්ථකව අකිල විරාජ් අධ්‍යාපන අමාත්‍යවරයා ඉටු කරනවා. එහි ප්‍රතිඵල අද සියලූ දෙනාටම දැකගන්න ලැබුණා.

නිදහස් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර ඇත්තේ වර්තමාන ආණ්ඩුව බව මා ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා. එක් දිනයක් තුළ දී පාසල් ගොඩනැගිලි 500ක් විවෘත කිරීමට අද අපට හැකි වුණා. මීට පෙර, වසරකදී විවෘත කරනු ලැබුවේ පාසල් ගොඩනැගිලි 500ක් පමණයි. ඇතැම් වසරවල දී එම සංඛ්‍යාව 200 ක් පමණ වුණා. පසුගිය කාල වකවානුවල සංඛ්‍යා දත්ත පිලිබදව මා හොදින් දන්නවා.

මුල් අවස්ථාවේ අපි වසරක දී විවෘත කරනු ලැබුවේ පාසල් ගොඩනැගිලි 100 ක් පමණ සංඛ්‍යාවක්.. මාගේ උපදෙස් පරිදි පසුව එම ප්‍රමාණය 200ක් දක්වා වැඩි කළා. අනතුරුව වසරක දී ඉදිකරන පාසල් ගොඩනැගිලි සංඛ්‍යාව 500 දක්වා වර්ධනය කිරීමට අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා කටයුතු කළා. අපි තවත් ඉදිරියට යමින් පසුගිය මාස දෙකක් වැනි කාලයක් තුළ ගොඩනැගිලි 950 ක් විවෘත කර තිබෙනවා. ඉදිරියේදී විවෘත කිරීමට ඇති පාසල් ගොඩනැගිලි පිළිබදව මම අමාත්‍යතුමාගෙන් විමසීමක් කළා.

පාර්ලිමේන්තු කාල සීමාව ලබන වසරේ අවසන් වීමට නියමිතයි. ජනාධිපති කාල සීමාව මේ වසරේ අවසන් වෙනවා. එසේ නම් සෑම දිනකම පැය 24 ම යෙදෙව්වත් මෙම ගොඩනැගිලි විවෘත කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බව මා අමාත්‍යාවරයාට පෙන්වා දුන්නා. කෙසේ හෝ මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් සොයා ගත යුතුව තිබුණා.

ඒ අනුව මෙම පාසල් ගොඩනැගිලි 500 විවෘත කිරීමට අද දිනයේ දී කටයුතු කළා. තවත් ගොඩනැගිලි 500 ක් ඉදිරියේ දී විවෘත කිරීමට තිබෙනවා. මෙවැනි සංකීර්ණ තත්වයක් තුළ අපි මේ විවෘත කිරීම් සිදුකරමින් සිටිනවා. එය ඉතා හොඳ දෙයක්.

ග්‍රාමීය පාසල් සඳහා යටිතල පහසුකම් සලසා දෙමින් ගොඩනැගිලි, පිහිනුම් තටාක, කී්‍රඩාංගන, ආපනශාලා, පුස්තකාල, වැසිකිලි ආදී සියලූම භෞතික පහසුකම් අපි ලබා දෙනවා. භෞතික පහසුකම් සමඟ පුහුණු ගුරුවරු පාසල්වල සිටිය යුතුයි. නුපුහුණු ගුරුවරු පාසල් පද්ධතිය තුළ සිටිය නොහැකියි. බස් රථයක් පැයක කාලයක් වුව ද ධාවනය කිරීමට රියදුරාට බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. එසේ නම් අවුරුදු 13 ක් පන්ති කාමරයක් පවත්වා ගෙන යන යාමට ගුරුවරයෙකුට බලපත්‍රයක් හෝ පුහුණුවක් තිබිය යුතු නොවේදැයි මා ඔබෙන් ප්‍රශ්න කරනවා.

මෙම තත්වය වෙනස් කිරීම සඳහා මා ආරම්භ කළ අධ්‍යාපන විද්‍යාපීඨ මගින් ඩිප්ලෝමාධාරී පුහුණු ගුරුවරුන් 85,000ක් සේවයට එක්කොට තිබෙනවා. ඒ වගේම තවත් පුහුණු ගුරුවරු මෙන්ම උපාධිධාරී ගුරුවරු එක්ලක්ෂ පනස් දහසක් පමණ අධ්‍යාපන පද්ධතිය තුළ සිටිනවා. ඒ අනුව වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය, පුහුණු ගුරුවරු සහිත අධ්‍යාපන පද්ධතියක් බව මා ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා. විදුහල්පතිවරුන්ට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලූ දෙනාට ද අවශ්‍ය පුහුණුව අපි ලබාදෙනවා. මේ සියල්ල තුළින් රටේ අනාගත පරපුරට හොද අධ්‍යාපනයක් ලබාදීම අපගේ අරමුණයි.

අපි අනාගතය දෙස අවධානය යොමු කරමින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ටැබ් පරිගණක ලබාදීමට ද කටයුතු කරමින් සිටිනවා. 21 වන ශත වර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍යයි. රට ජාතිය බේරා ගැනීමට කටයුතු කරන බව පවසමින් 21 වන ශත වර්ෂයේ ජීවත් වන දරුවන්ට 20 වන ශත වර්ෂයේ යල්පැන ගිය අධ්‍යාපනයක් ලබාදීම ඵල රහිත ක්‍රියාවක්. අප අධ්‍යාපනය ලැබූ කාලයට, එම ක්‍රමය ගැලපුනත් වර්තමානයට එම ක්‍රමවේදය ගැලපෙන්නේ නැහැ.

නූතන අධ්‍යාපන වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාමට අප කැපවී සිටින අතර ඒ වෙනුවෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර තිබෙනවා. පාසල් අධ්‍යාපන වැඩපිලිවෙලට අවශ්‍ය නව රාමුව අපි සකස් කර අවසන්. ඉදිරියට සිදු කිරීමට ඇත්තේ ඒ සඳහා අවශ්‍ය නීති සකස් කිරීමයි. ඉදිරි වසර 10 ක කාලය තුළ මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නේ නම් හොඳම අධ්‍යාපන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ ඇති වන බව මා අවධාරණය කර සිටිනවා.

එම අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ අභියෝගය අකිල විරාජ් ඇමතිතුමා බාරගනු ලැබුවා. අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් එම අභියෝගය බාර ගෙන නව අධ්‍යාපන රාමුවක් ඇති කරමින් ඉදිරියට යාම පිළිබඳව මාගේ ස්තුතිය හා ප්‍රශංසාව ඔවුන් වෙත පුද කර සිටිනවා. මෙම නව ක්‍රමවේදය වෙනස් නොකර ඉදිරියට ගෙන යන්නේ නම් කිසිදු ගැටළුවකින් තොරව රටේ හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් ගොඩනැගෙනවා.

පාසල් අධ්‍යාපනය මෙන්ම උසස් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් ද ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම සේවයක් කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුවයි. ඒ අනුව, විශ්වවිද්‍යාල පීඨ 21 ක් ආරම්භ කරමින්,  ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විශ්වවිද්‍යාල පීඨ සංඛ්‍යාවක් ආරම්භ කළ ආණ්ඩුව බවට අපගේ ආණ්ඩුව පත්ව තිබෙනවා.

දැනට වෛද්‍ය පීඨ 02ක් විවෘත කර ඇති අතර ඉදිරියේ දී තවත් වෛද්‍ය පීඨ දෙකක් විවෘත කිරීමට නියමිතයි. ඉංජිනේරු පීඨ, කළමණාකරන පීඨ, තාක්ෂණ පීඨ සියල්ලක්ම අපි සිසු අයිතියට පත් කරනු ලබනවා.

එමෙන්ම මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාර 100 ක් අපි විවෘත කර තිබෙනවා. මෙම එක් නේවාසිකාගාරයක ශිෂ්‍යයින් 400 දෙනෙකුට නේවාසික පහසුකම් සැලසෙන අතර සමස්ථ ව්‍යාපෘතිය හරහා ශිෂ්‍යයන් 40,000 කට ප්‍රතිලාභ හිමි වෙනවා.  

ගුරුවරුන් බදවා ගැනීමට අමතරව පාසල් ගුරුවරුන්ගේ සහ විශ්වවිද්‍යල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අපි ක්‍රියා කළා. එමෙන්ම වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීමට ද අපි ක්‍රියා කරමින් සිටිනවා. ඒ සඳහා අලූත් ආයතන ආරම්භ කිරීමටත්, පවතින ආයතනවල නවීන පාඨමාලා ආරම්භ කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තුලින් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් වෘත්තීය අධ්‍යාපන ධාරාවේ ද්වීතිය අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ තිබෙන වෘත්තීය අධ්‍යාපන ආයතන සංඛ්‍යාව ඉදිරි වසර 05 – 10 තුළ දී දෙගුණයක් දක්වා වැඩි කළ යුතුව තිබෙනවා.

පාසල් පද්ධතිය ගොඩනැගීම මෙන්ම පාසල් හැර යන අයට අධ්‍යාපනය ලබාදීම අපි ආරම්භ කර තිබෙනවා. මේ කටයුතු හරහා රටේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගෙනවා.

අධ්‍යාපනය වෙනුවෙන් පමණක් නොව සෞඛ්‍ය සේවය වෙනුවෙන් ද අපි විශාල මුදල් ප්‍රමාණයක් යොදවා තිබෙනවා. සෞඛ්‍ය රක්ෂණාවරණ ලබාදීමට අමතරව, රෝහල්වල පහසුකම් වර්ධනය කරමින් අලූත් රෝහල්, අලූත් ගොඩනැගිලි හා නවීණ උපකරණ ලබාදී තිබෙනවා.

අපි මෙතරම් විශාල වියදමක් දරන්නේ රටේ අනාගතය වෙනුවෙනුයි. හොඳ සෞඛ්‍ය සේවයක් වගේම හොඳ අධ්‍යාපනයක් ලබාදීම අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.

මෙම ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන පිළිබද ජාතික ආයතනයේ අධ්‍යාපනය ලැබ, ඉන් පිටවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තාක්ෂණය පදනම් කර ගත් රැකියා අවශ්‍ය වෙනවා. මේ වන විට මාර්ග පද්ධතිය ඇතුලූ යටිතල පහසුකම් වර්ධනය කරමින් සහ වෙළඳ කලාප ගොඩනගමින් සිටිනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය ඉතා සීඝ්‍රයෙන් දියුණු වන තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මෙම පහසුකම් වර්ධනය වීමත් සමග ඉදිරි වසර 05 - 06 තුළ දී රටට විශාල ආයෝජන ගෙන ඒමට අපි කටයුතු කරනවා. එමගින් මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල රැකියා හා ආදායම් මාර්ග ප්‍රමාණයක් බිහි කිරීමට අපට හැකියාව ලැබෙනවා. එය මෙම ක්‍රියාවලියේ අවසාන පියවරයි.

අපි මෙම ක්‍රමය ආරම්භ කළා. දැන් මෙම ක්‍රමය ඉදිරියට පවත්වා ගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් කැපවෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලූ දෙනාට ස්තුතිය පුද කරන අතර අද දින විවෘත කරනු ලැබූ ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපන පිළිබද ජාතික ආයතනයටත්, අනෙකුත් පාසල් සියල්ලටත් මාගේ සුභ පැතුම් එක් කිරීමට කැමතියි.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක එරංග වැලිඅංගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ යන මහත්වරු ඇතුළු දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීව සිටියහ.

{gallery}Veniwelkola school{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න