ඒකාධිපතීත්වයෙන් රට සංවර්ධනය කරන්න බෑ - අගමැති රනිල් 

ඒකාධිපතීත්වයෙන් රට සංවර්ධනය කරන්න බෑ - අගමැති රනිල් 

ඒකාධිපතීත්වයෙන් රට සංවර්ධනය කළ නොහැකි බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙරට සංවර්ධනය කිරීමට නම් කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බව පවසයි.

පසුගිය වසර කිහිපය තුළ රටේ විශාල සංවර්ධනයක් සිදු කිරීමට ඒකාධිපතීත්වයක් හෝ අර්ධ ඒකාධීපතීත්වයක් අවශ්‍ය නොවූ බව පෙන්වාදුන් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  එම සියලූ වැඩකටයුතු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තුළින් සිදු කළ බව ද පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පළ කළේ පසුගියදා කොළඹ, අරලියගහ මන්දිරයේ පැවැති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 ක් සඳහා ස්ථිර  පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.  

එහිදී විශ්‍රාම ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත විශ්‍රාම වැටුප් ලිපි ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  මෙසේ ද කීය.

සමෘද්ධි නිලධාරි ස්ථිර පත්වීම් ලබාදීමත් දයා ගමගේ ඇමතිතුමාගේ උපන් දිනය යෙදී තිබීමත් නිසා අද දිනය විශේෂ වෙනවා. මෙම අමාත්‍යාංශය ආරම්භ කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් වශයෙන් පී. හැරිසන් මැතිතුමා මෙහි වැඩ භාරගත් බව සඳහන් කරන්න කැමතියි. ඔහු වැඩ භාරගත් අවස්ථාවේ සිටම සමෘද්ධි නිලධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලබාදීම පිළිබඳව ඔහු මා සමඟ සාකච්ඡා කර තිබෙනවා. නමුත් එම කටයුත්ත සිදු කිරීමට කාලයක් ගතවුණා.

දින 52 ක පෙරලියෙන් පසුව අමාත්‍යාංශ වෙනස් වීමෙන් එම වගකීම දයා ගමගේ මැතිතුමාට භාරදීමට මම තීරණය කළා. දයා ගමගේ මැතිතුමා එම වගකීම භාරගෙන සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ වැඩසටහන අවසන් කිරිමට කටයුතු කළා.

ආණ්ඩුවේ පාලන කාලය අවසන් වීමට පෙර මෙම පත්වීම් ලබාදෙන බවට දයා ගමගේ මැතිතුමා මට පොරොන්දු වුණා.  දීර්ඝ කාලයක් මුළුල්ලේ ස්ථිරභාවයක් නොමැතිව ඔබ සිදු කළ සේවය සලකා බලා ස්ථිර පත්වීම් ලබාදීමට දයා ගමගේ මැතිතුමා වූ පොරොන්දුව අද යථාර්ථයක් බවට පත්කර තිබෙනවා.

රැකියාව ගෞරවනීය ලෙස සිදුකරන්න !

ස්ථිර පත්වීම් ලැබීමත් සමඟ රජයේ සේවකයින් වශයෙන් රාජකාරි කටයුතු ගෞරවයෙන් යුතුව කරගෙන යාමට ඔබ සැමට අවස්ථාව ලැබෙනවා. මීට පෙර ස්ථිර පත්වීමක් නොමැතිව සමෘද්ධි නිලධාරීන් වසර ගණනාවක් සේවය කළ බව මතක් කළ යුතුයි.

ස්ථිර පත්වීම් ලබාගැනීම වෙනුවෙන් අවස්ථා ගණනාවකදී උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ගැනීමට ඔබ සියලූ දෙනා කටයුතු කර තිබුණා. එම ඉල්ලීම් නොසලකා ඔබ සියලූ දෙනා ස්ථිර නොකල හේතුව මට තවම පැහැදිලි නැහැ. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ ඔබගේ රැකියාව ස්ථිර කිරීම රජයේ වගකීමක් වශයෙන් මම දකිනවා. එම වගකීම හා යුතුකම වටහා ගෙන ඔබගේ රැකියාව ස්ථිර කිරීමට අප තීරණය කළ බව සඳහන් කරන්න කැමතියි.

අද උපන් දිනය සමරන දයා ගමගේ මැතිතුමා භාරගත් වැඩකටයුත්තක් අවසානය තෙක්ම මඟ නොහැර ඉදිරියට ගෙන යන බව සඳහන් කළ යුතුයි. එතුමා වගේම අනෝමා ගමගේ මැතිනියත් එම වගකීම් භාරගෙන ක්‍රියා කරනවා.

ප්‍රාථමික කර්මාන්ත දියුණුව වෙනුවෙන් සුළු අපනයන බෝග නිෂ්පාදනය ඉහල නැංවීමට දයා ගමගේ මැතිතුමා විශාල වැඩකොටසක් සිදුකර තිබෙනවා. එතුමා සතු ව්‍යාපාරික  ඥානය යොදා ගෙන තරඟකාරී වෙළෙඳපොළ තුල ඉදිරියට යාමට අවශ්‍ය උපායන් හඳුනාගෙන එම ක්ෂේත්‍රයන් නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙනවා. අමතක වී තිබූ ප්‍රාථමික කර්මාන්ත ක්ෂේත්‍රයට නව පනක් ලබාදී දියුණුවක් ඇති කිරීමට අප පියවර ගත යුතුයි.

වැඩිම පිරිසකට සමෘද්ධිය දුන්නේ මේ ආණ්ඩුව !

වසර 20කට පසුව අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් සමෘද්ධි සහනාධාර අලූතින් ලබාදීමට  අප කටයුතු කළ බව සඳහන් කළ යුතුයි. පසුගිය වසර 20ක කාලය තුල අලූතින් සමෘද්ධි සහනාධාර ලබාදීමට එවක පාලකයින් අසමත් වුණා. වසර 20කට පසුව සමෘද්ධි සහනාධාර ප්‍රමාණයත්, සමෘද්ධිලාභීන් ප්‍රමාණයත් වැඩි කිරීමට දයා ගමගේ මැතිතුමා කටයුතු කර තිබෙන බව සඳහන් කරන්න කැමතියි. සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර 05ක් තුල ඉහල නැංවීමට අප පියවර ගත්තා.

ඉතිහාසයේ වෙනත් කිසිවෙකු නොකළ වැඩ කොටසක් අප පාලනය කාලය තුල සිදු කළ බව සදහන් කළ යුතුයි. දුප්පත් ජනතාවට සහන ලබාදීම අප සමාජ දර්ශනයේ කොටසක් වී තිබෙනවා. දුප්පත් ජනතාව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහන ලබාදීම සමාජ සේවයේ වැදගත් කොටසක් ලෙස සලකා ඒ වෙනුවෙන් කටයුතු කර තිබෙනවා.

නිදහසින් පසුව මෙරට සමාජ සේවය වෙනුවෙන් සිදු කළ විශාලම ආයෝජනය පසුගිය වසර කිහිපය තුළ අපි සිදුකර තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා නොමිලේ ස්ටෙන්ට් ලබාදීම, ඖෂධ මිල ගණන් පහත හෙළීම, රෝහල් පහසුකම් වැඩි කිරීම ඇතුළු විශාල නවීකරණයක් සිදුකර තිබෙනවා. ඉදිරියේදී මෙම තත්වය මීටත් වඩා වැඩිදියුණුවක් කරා ගෙනයාමට අප පියවර ගන්නවා.  

දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය ලංකාවේ !

අප සිදු කළ විශාල ආයෝජනය නිසා දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය බවට මෙරට සෞඛ්‍ය සේවය පත්වී තිබෙනවා. වෛද්‍ය පීඨ ප්‍රමාණය වැඩිකර වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට අප පියවර ගනිමින් සිටිනවා. මේ වන විට වෛද්‍ය පීඨ දෙකක් අපි ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී තවත් වෛද්‍ය පීඨ දෙකක් ඇති කිරීමට අප පියවර ගන්නවා.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන මගින් පාසැල් ක්‍රීඩාංගන, සනීපාරක්ෂක පහසුකම්, පාසල් ගොඩනැගිලි සහ පාසල් උපකරණ ලබාදීමට පියවර ගෙන තිබෙනවා.  සංවර්ධනය නගරයට පමණක් සීමා නොකර ග්‍රාමීය පාසල් සංවර්ධනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කර තිබෙන බවත් සඳහන් කරන්න කැමැතියි. මෙරට පාසල් සිසුන් සියලූ දෙනාම සුරක්‍ෂා රක්‍ෂණය යටතේ රක්‍ෂණය කර තිබෙනවා. පාසල් සඳහා අවශ්‍ය පුහුණු ගුරුවරුන් ලබාදීම වෙනුවෙන් අලූතින් අධ්‍යාපන පීඨ ඇති කිරීමට අපි පියවර ගත්තා.  

ගුරු වෘත්තියේ ප්‍රමිතිය ඉහළට !

පසුගිය වසර දෙකක කාලය තුල විශාල ප්‍රමාණයකට ගුරු පත්වීම්  ලබාදී තිබෙනවා. 2015 වසරේ බලයට පත්වන විට නොපුහුණු ගුරුවරුන් පුහුණු කිරීමට අප බලාපොරොත්තු වුණා. ඒ අනුව මේ වන විට පාසල්වලට පුහුණු ගුරුවරුන් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. ගුරුවරුන් බඳවා ගැනීමේදී උපාධිධාරි ගුරු පත්වීම් හෝ අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු පත්වීම් හෝ පමණක් ලබා දීමට අප තීරණය කළා.

නව විෂයන් පාසල්වලට හඳුන්වා දී සුහුරු පන්ති කාමර ඇති කිරීමට අප පියවර ගත්තා. මේ වසර අවසන්වීමට පෙර ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටැබ් පරිගණක නියම ව්‍යාපෘතියක් වශයෙන් ලබා දීමට කටයුතු කර තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් පිරිසක් මෙරට බිහි කිරීමේ අරමුණින් වෘත්තීය පුහුණු ආයතන ඇති කිරීමට අප පියවර ගත්තා. විශ්වවිද්‍යාල පීඨ 26ක් හා 40,000 පහසුකම් ලැබෙන පරිදි ශිෂ්‍ය නේවාසිගාර 100ක් අප ඉදිකර දී තිබෙනවා.

රටේ සමාජ සුභ සාධනය වෙනුවෙන් විශාල මුදලක් අප ආයෝජනය කර තිබෙනවා. මෙවැනි වැඩ කොටසක් සිදු කිරීමට ඒකාධිපතියෙක් වීමට අවශ්‍ය වුණේ නැහැ. ඒකාධිපති බලතල අවශ්‍ය වන්නේ නැහැ. ඒකාධිපති හෝ අර්ධ ඒකාධිපති බලතල ලබාගත්තා යැයි කියා මීට පෙර මෙවැනි යෝධ සංවර්ධන වැඩකටයුතු සිදු නොවුනු බව සඳහන් කරන්න කැමැතියි. අප බලයට පත්වන විට මෙරට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති වුවත් මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී තිබෙනවා.

මාධ්‍ය නිදහස තහවුරුයි !

මෙම නිදහස් වාතාවරණය ඔබට අනවශ්‍ය දැයි දැනගන්න කැමතියි. ජනමාධ්‍ය තුලින් අප විවේචනය කළ හැකි තරමේ නිදහසක් ලබාදී තිබෙනවා. සුදු වෑන් වෙනුවට ඇමතුමක් ලබාදුන් සැනින් හදිසි අවස්ථාවක සුවසැරිය ගිලන් රථය ඔබේ නිවසට පැමිණෙනවා. එවැනි පරිවර්තනයක් අප ඇති කර තිබෙනවා.

නිදහසින් පසු බහුතරයක් නොමැති එකම ආණ්ඩුව අපේ ආණ්ඩුව බව කිව යුතුයි. ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකළ යුතු නිසා කෙසේ හෝ ආණ්ඩු බලය රැක ගැනීමට අප කටයුතු කළා. රට ඉදිරියට ගෙන යාමට ඇතමුන් ඒකාධිපතීත්වයක් ඉල්ලා සිටිනවා. මෙතරම් විශාල වැඩකොටසක් කිසිදු ඒකාධිපතිත්වයක් නොමැතිව අප සිදුකළ බව මතක් කරන්න කැමතියි. පුරා වසර 20ක් ඒකාධිපතින්ට ලබා දීමට නොහැකි වූ සමෘද්ධි සහනාධාරය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන අප විසින් ලබා දුන්නා.

ග්‍රාමීය සංවර්ධනය හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව මම අද ප්‍රකාශ කරන්නේ නැහැ. ඒකාධිපතිත්වයක් තුලින් රට ඉදිරියට ගෙන යා නොහැකි බව ඔබගේ මතකයේ තබා ගන්න. රට ඉදිරියට ගෙන යාමට නම් කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බව මම අවධාරනය කරනවා. පසුගිය වසර කිහිපය තුල සිදුකළ දියුණුව ඉදිරියට ගෙන යාම සඳහා  සහයෝගයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලමින් ඔබ සියලූ දෙනාටම සුභ පැතුම් එක් කරනවා.”

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලි සාහිර් මවුලානා සෙයිඩ්, කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර,  ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.‍

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න