ඉරාන් තෙල්වලට සිලෝන් ටී හරහා ගෙවන අලුත් ක්‍රමයක් එයි !

ඉරාන් තෙල්වලට සිලෝන් ටී හරහා ගෙවන අලුත් ක්‍රමයක් එයි !
පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරගනු ලැබූ යෝජනාවකට අනුව, ඉරානයෙන් මෙරටට ආනයනය කරන ලද ඛනිජ තෙල් සඳහා ගෙවීමට ඇති මුදල් ශ්‍රී ලංකා තේ ඉරානයට අපනයනය කිරීම මඟින් ගෙවීම් පියවීමේ නව හුවමාරු ගෙවීම් ක්‍රමයක් නුදුරේ දීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක  පැවසිය. 
 
අමාත්‍යවරයා  මේ බව පැවසුයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී  පැවති මාධ්‍ය හමුවක දී ය.
 
මෙම නව හුවමාරු ගෙවීම් ක්‍රමය Oil Tea barter system  ලෙසින් ක්‍රියාත්මක වන කෙටි කාලීන විසඳුමක් වන අතර ඒ හරහා ඛනිජ තෙල් ආනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව විසින් ඉරානයට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 250 ක මුදල ගෙවීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව එකතු වී ඉරානයේ තෙල් සමාගමක් සමඟ එකඟතාවයකට පැමිණ ශ්‍රී ලංකා තේ ඉරාන වෙළඳපලට නිකුත් කිරීම මෙම ගිවිසුම හරහා සිදු වන බව අමාත්‍යවරයා මෙහි දී පැහැදිළි කළේය.  
 
ඒ අනුව මාසිකව ඩොලර් මිලියන පහක වටිනාකමින් යුතු තේ ප්‍රමාණයක් ඉරානයට යැවීම හරහා ගෙවිය යුතු ණය ප්‍රමාණය පියවන තෙක් ලබා දීමේ යාන්ත්‍රණයක් ලෙසින් කටයුතු කිරීමට පියවර ගන්නා බවත්, ඉරානයට ඇමරිකාවෙන් පනවා ඇති සම්බාධක හේතුවෙන් එරට ඇති ආර්ථික තත්ත්වයන් හමුවේ  ශ්‍රී ලංකා තේ වලට ඉරාන වෙළඳ පලේ ඇති ඉල්ලුම අඩුවෙමින් පවතින තත්ත්වයක මෙම Oil Tea barter system හරහා ශ්‍රී ලංකා තේ වෙළඳපල ඉල්ලුම වර්ධනය කරගැනීමට හැකිවනු ඇති බලාපොරොත්තු වන බවත්, මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය මීට සම්බන්ධ නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

මහාමාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්  ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන ද මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න