Language Switcher

V2025

නිශ්ශංකට කතා කරන්න දිල්රුක්ෂිට දුරකථනය දුන්නේ වජිර ? බරපතල චෝදනාවක් !

මෙරට දේශපාලන ක්ශේත්‍රයේ මෙන්ම නීති ක්ශේත්‍රයේ ද ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ගෝඨාභය  රාජපක්ෂට එරෙහිව නඩු පැවරීම වෙනුවෙන් නැවත පෙනී නොසිටින බවට නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කරන දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ කරන ප්‍රකාශයක් ඇතුලත් හඬපටය හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන  බරපතල චෝදනාවකට ලක්වීමේ අවධානමක් මතුව තිබේ.

ඊට ආසන්න හේතුව වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය , විසින් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් නිශ්ශංක සේනාධිපති වෙත සිදුකර ඇති අභියෝගයයි. 

 දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් සිය ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහන පහත දැක්වෙයි.

IMG 20190921 WA0003

 වජිර අබේවර්ධන ගැන සැකයි !

විශ්වාසවන්ත කටයුතු   දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලෙස දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අවධාරණය කර දක්වන අමාත්‍යවරයා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන බවය.

ඔහු මේ කටයුත්ත සඳහා මැදිහත්ව ඇති බවත් ඒ සම්බන්ධව ඉදිරියේ දී තවත්  තොරතුරු අනාවරණය වනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

එම චෝදනාවට පිළිතුරු දීමට දැන් අනිවාර්යයෙන් වජිර අබේවර්ධන අමාත්‍යවරයා වෙත සිදුවෙයි.

දිල්රුක්ෂිගේ සටහන බලන්න !

මන්ද දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහන අනූව  ඉතා පැහැදිලිව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වෙත නිශ්ශංක සේනාධිපති සමග කතා කිරීමට දුරකථනය ලබාදී ඇත්තේ යහපාලනය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකි.

ඒ අමාත්‍යවරයා කවුද යන්න ඇය අනාවරණය නොකරන්නේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මේ වන විටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලෙස  නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන රජයේ නිලධාරිනියක වන නිසාය.

ගෝඨාභය විදෙස් ගමන් බලපත්‍රය ගත්තේ වජිර නොදැනද ? ඒ ගැන කළ විමර්ශනයක් තිබෙනවාද ?

මේ සම්බන්ධ චෝදනාව වජිර අබේවර්ධන අමාත්‍යවරයා වෙත යොමුකරන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙත පසුගියදා  සිංගප්පූරු රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට යාම සඳහා විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත්කර තිබීම සම්බන්ධවද වජිර අබේවර්ධන අමාත්‍යවරයා චෝදනා ලැබූ බවයි.

එසේම ඔහු නිශ්ශංක සේනාධිපතිගේ හිතවතෙකු බවත් රාජපක්ෂ රෙජීම පාලනය තුළ සිදුවූ නීති විරෝධී සහ සාපරාධි අපරාධ සම්බන්ධව නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීම වැලැක්වීමට ක්‍රියා කිරීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ පවා විවිධ අවස්ථාවල සැකසංකා මතුවූ විවේචනයට භාජනය වූ අමාත්‍යවරයෙකු ලෙස වජිර අබේවර්ධන ප්‍රකට බවත් එම ආරංචි මාර්ග සිහිපත් කරයි.

එසේම එම ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ වෙත විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත්කල සිදුවීම ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධ උනුසුම හමුවේ යටපත් කිරීමට වජිර අබේවර්ධන අමාත්‍යවරයා කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධව ඔහු විධිමත් ප්‍රකාශයක් හෝ සිදුකර නැත.

අදාල විදෙස් ගමන් බලපත්‍රය ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස  ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදීමට ක්‍රියාකර ඇති අවස්ථාව වන විට ගෝඨාභය සිය ඇමරිකානු - ශ්‍රී ලංකා ද්විත්ව ස්වාභාවය ඉවත්කර ගෙන නොමැති බවත් එතරම් බරපතල චෝදනාවක් පහසුවෙන් යටපත් කෙරුණත් නිශ්ශංක සේනාධිපති මුදාහළ හඬපටය හේතුවෙන් එය යළිත් කරළියට ගතයුතුව ඇති බවත් එම ආරංචි මාර්ග අවධාරණය කරයි.

එම ආරංචි මාර්ග සදහන් කරන්නේ රාජපක්ෂලා සමග ඩීල් දාන අතර තුරේ ව්‍යාජ ලෙස යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුව සිටීම තවදුරටත් සුළුකොට තැකිය නොහැකි බවය.

එවැනි ඩීල්කාර අමාත්‍යවරුන් හේතුවෙන් සාපරාධි අපරාධ සිදුකළ රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ පාර්ශවයන්ට සුදු රෙදි හැඳ නැවත ජනතාව රැවටීමේ වරම හිමිව ඇති බවත් ඒ හමුවේ රාජපක්ෂ සමයේ අපරාධ වලට එරෙහිව කටයුතු කළ දේශපාලනඥයින් , සිවිල් සමාජ ක්‍රියාකාරීන් , මාධ්‍යවේදීන් ඇතුළු රැසකගේ ජීවිත නැවත වටයකින් අනාරක්ෂිත වී ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

නිශ්ශංක සම්පූර්ණ හඬපටය එළියට දාන්න !

එසේම දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විසින් ෆේස් බුක් ගිනුමේ සදහන් කර ඇති ආකාරයට නිශ්ශංක සේනාධිපති විසින් ආන්දෝලනයට තුඩුදුන් හඬපටය විකෘති කර ඇති බවට නැගෙන චෝදනාවද ප්‍රතික්ෂේප කළ නොහැකිය.

එබැවින් තමන් නිවැරැදි බව තහවුරු කිරීමට නම් අදාල සම්පූර්ණ හඬපටය මාධ්‍ය වෙත මුදාහැරීමට නිශ්ශංක සේනාධිපති වෙත සිදුවීමත් අනිවාර්යයක්ව තිබේ.

නැතිනම් සිදුවන්නේ නිශ්ශංක සේනාධිපති තමන්ට එල්ලවු චෝදනා සහ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වලක්වා ගැනීමට අමාත්‍යවරුන් හරහා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වෙත බලපෑම් කල බව ඔප්පුවීමය. 

ඒ හරහා මේ වන විට මාධ්‍ය වෙත මුදාහැර තිබෙන හඬපටය විකෘති කර ඇයව චේතනාන්විතව අපහාස කිරීමේ වරදින්ද ගැලවීමට නිශ්ශංක සේනාධිපති වෙත නොහැකි වෙයි.

අනෙක් අතට නිශ්ශංක සේනාධිපති මේ හඬපටය මුදාහැර සිටියේ ඇවර්න්ගාඩ් නඩුව අධිකරණය හමුවේ කැඳවෙමින් තිබූ ආසන්න දින වලය.

අල්ලස් කොමිසමේ තනතුරෙන් දිල්රුක්ෂි ඉවත්වූ හේතුව !

පසුගිය සමයේ විශේෂයෙන් යහපාලන ආණ්ඩුවේ මුල් අවධියේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මෙරට ආන්දෝලනයක් ඇතිකළේ ස්වාධීන කොමිසන් සභාවල ක්‍රියාකාරීත්වය, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාබය රාජපක්ෂ, හිටපු ත්‍රිවිද හමුදාපතිවරුන් සහ ඒ පිළිබද පරීක්ෂණවලට අදාළ තොරතුරු තමන්ට නොදන්වා අධිකරණයට ක්‍රියාවලියකට ගෙනයාම සම්බන්ධව ජනාධිපති සිරිසේන ප්‍රසිද්ධියේ චෝදනා කිරීමත් සමගය.

ජනාධිපතිවරයාගේ වචනයෙන් කියන්නේ නම් ‘දක්කාගෙන යාම ගැන ඔහු කළ යහපාලන වචනයත් ගැරහුමට ලක්කර දින කිහිපයක් ගෙවෙන තැනය.

එදා ජනාධිපති තනිව අපවාදයට ලක්වූයේ රාජපක්ෂලාගේ දූෂණ වංචා අපරාධ සම්බන්ධව විමර්ශනය කිරීමට ඉඩනොදී ඒ වෙනුවෙන් රාජකාරි කළ ස්වාධීන කොමිෂන් වෙත බලපෑම් කිරීම නිසාය. නමුත් දැන් පෙනෙන්නට ඇත්තේ අදටත් යහපාලනය විකුනගෙන කන අමාත්‍යවරුන් ජනාධිපති සමග හරි හරියට රාජපක්ෂලා සමග ඩීල් ගසා නිදහසේ සිටින බවය.

ඇමති වජිර මේ ප්‍රශ්නයට උත්තර අත්‍යාවශය !

 දැන් වජිර අබේවර්ධන අමාත්‍යවරයා මේ සම්බන්ධව  චෝදනාව ලබා තිබේ. දැන් අපි ඔහුගෙන් අසන්නේ ඇමැති වජිර අබේවර්ධන , නිශ්ශංක සේනාධිපති සමග කතා කරන්න කියා ඔබ දුරකථනය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වෙත දුන්නාද නැද්ද යන්නය. ඉදිරියට පැමිණ රටට ඇහෙන්නෙම උත්තර දීම වජිර අබේවර්ධන අමාත්‍යවරයා සතු අතර ඊට ඉඩක් දීමට අපි සූදානම් ය.

එතැනින් කතාව අවසන් නොවන නමුත් ඇත්ත කියන්නේ කවුද යන්න ජනතාවට දැනගන්නට අවස්ථාව හිමිවන බැවින් වජිර අබේවර්ධන ඇමතිතුමා දැන් ඉස්සරහට පැමිණිය යුතුව ඇත.