ලකුණද වටින්නේ ජයග්‍රහණද ? දුමින්ද අහයි !

ලකුණද වටින්නේ ජයග්‍රහණද ? දුමින්ද අහයි !

අද පොහොට්ටුවට  ජයග්‍රහණයද වටින්නේ, තමන්ගේ ලකුණුද වටින්නේ කියලා තීරණය කරන්න වෙන  බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කැකිරාව ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

“දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් වට්ටන්න පුළුවන්ද?  ඔබතුමන්ලා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා. එදා බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක් වුණාට පස්සේ සිරිමාවෝ මහත්මිය  මේ පක්ෂය භාර ගත්තා.පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරණායක මහතාගේ , පක්ෂය පෝෂණය කරපු සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ  දුවයි, පුතයි දෙන්නත් මේ පක්ෂය දාලා ගියා. මේ පක්ෂයෙන් අයින් වෙලා අලුත් පක්ෂ හැදුවා.  වෙනත් පක්ෂ වලට ගියා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න, නැති කරන්න පුළුවන්කම තිබුණාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න ඒ කාටවත් බැරි වුණා. අවසානයේ ඒ අයටත් සිද්ධ වුණේ ආයේ පාරක් මහ ගෙදර එන්නයි. ගිය ගමන පැත්තකින් තියලා.  ගිය ගමන තේරුම් අරගෙන නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහ ගෙදර තමයි ඒ සියලු දෙනාම නැවතුනේ. අදත් අපට ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා.

අදත් මේ හැමෝම කථා කරන පක්ෂයක්නේ පොහොට්ටුව.  දැන් පොහොට්ටුවේ ඉන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය.  ඇයි අද ඒ ගොල්ල පොහොට්ටුවේ ඉන්නේ.  මහින්ද රාජපක්ෂ කියන නමත් එක්ක එතුමාට තියෙන ආකර්ෂණයත් එක්ක ඉන්නවා ඇරෙන්න වෙන මොකටද එතන ඉන්නේ. ඒ නිසා පොහොට්ටුවේ අයගේ අවසානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒක වැඩි ඈතක් යන්නේ නෑ.

මම විශ්වාස කරනවා ඉදිරි අවුරුද්දක් වගේ කාලය තුළ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරලා අලුත් ගමන් ගියපු බොහෝ දෙනා නැවත වතාවක් මේ මහ ගෙදර ශක්තිමත් කරනවා කියන එක අපිට විශ්වාසයි. එතන හරයක්, මතයක්, මතවාදයක් කිසි දෙයක් නෑ. ඒ නිසා ඔබතුමන්ලා දැක්කා පසුගිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ සමහර වෙලාවට කොට්ඨාසයේ ඉල්ලන්නේ මොකාද කියලවත් දන්නේ නෑ. මේකට පැවැත්මක් නෑ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාරුකම්, ප්‍රශ්න තියෙනවා.  හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයේ නැවත වතාවක් මේ රටේ ශක්තිමත්ම පක්ෂය බවට පත් වෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ.

අපි - පොහොට්ටුවට එකතුවෙන එක ගැන දැන් කථා කරනවා. අපි මීට දවස් දෙකකට කලින් අපේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වුණා. අපි එතනදී පැහැදිලි තීන්දුවක් ගත්තා අපිට පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න වුවමනාවක් නෑ.  පොහොට්ටුවත් එක්ක අපිට එකතු වෙන්න වුවමනාවක් නෑ කියලා කියන්නේ මේ අපේ අනාගතය වෙනුවෙන් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය වෙනුවෙන්. අපි පොහොට්ටුවට ගිහින් සම්බන්ධ වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය පිළිබඳව අපිට ලොකු අවධානමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිල ගැනීම, යට කිරීම තමයි පොහොට්ටුවේ අරමුණ වෙලා තියෙන්නේ. රෑට රූපවාහිනිය බැලුවම පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ජාවේ පිටිපස්සේ තියෙන්නේ පොහොට්ටු ලකුණ.  උඩින්ම මහින්ද මහත්තයා, දෙවනියට ඉන්නවා ගෝඨා, තුන්වැනියට ඉන්නවා බැසිල්. මේ පොහොට්ටුව රාජපක්ෂවරුන්ගේ කියන එකනේ මේ ඒ අය කියන්නේ. එහෙම නම් අපිට පුළුවන්කමක් තියෙනවාද මේ දැවැන්ත ඉතිහාසයක් තියෙන, විශාල කැපකිරීම් කරලා තියෙන, මේ රට වෙනුවෙන් බොහෝ තීන්දු තීරණ අරගෙන රට හරිමාවතට ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවේ ගැටගහලා, පොහොට්ටුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්න අපිට පුළුවන්කමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝග තියෙනවා වෙන්න පුළුවන්. ඒ අභියෝග අපි විනාශයට පාර කපා ගැනීමක් වෙන්න බෑ. අපි ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන මිසක් උත්තරයක් නෑ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න දෙන්න පුළුවන්කමක් නෑ” 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න