ජනාධිපතිවරණය වළක්වන්න පෙත්සමක් : සිරිසේනගේ ගෝලයා මෙත්සිරිගේ වැඩක් !

ජනාධිපතිවරණය වළක්වන්න පෙත්සමක් : සිරිසේනගේ ගෝලයා මෙත්සිරිගේ වැඩක් !

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවය.

එසේ තිබිය දී ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 7 වනදා සිදු කිරීමට නියමිත බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තර්ක කරන පෙත්සම්කරු ඒ අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලැබ තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටී.

නාම යෝජනා භාර ගැනීමත් වලක්වන්න ඉල්ලලා : පෙත්සම්කරු මෙත්සිරි !

 ඊට අමතරව ජනාධිපතිවරණය සඳහා ලබන 07 වන දා නාමයෝජනා පත්‍ර භාර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින බව පෙත්සමේ සඳහන් වේ.

මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා විසිනි.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පදවියේ රැඳී සිටිය යුතු නිල කාලය වසර පහක් පමණක් වන බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 වසරේ ජනවාරි මාසයේ ජනාධිපතිවරයා වෙත දැනුම් දෙනු ලැබීය.

ඒ සිය සිය ධුර කාලය අවසන් වන්නේ 2020 වසරේද ? නැත්නම් 2021 වසරේද? යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ අවස්ථාවේදීය.

එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, "වත්මන් ජනාධිපතිතුමාගේ ධුර කාලය පිළිබඳ එතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසුම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ධුර කාලය වසර 05 ක් වන බව දැනුම් දී ඇත," යනුවෙනි.

කෙසේ වුවත් ඒ සම්බන්ධ නඩු විභාගයේදී කරුණු දැක් වූ නීතිපතිවරයා කියා සිටියේ, 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයේ සඳහන් වසර පහක ධූරකාලය මීළඟට පත් වෙන ජනාධිපතිවරයාගේ පටන් අනාගතයට වලංගු වන බවය.

2015 ජනවාරි 08 වෙනි දින ජනාධිපතිවරයා තේරී පත්වන අවස්ථාවේ විධායක ජනාධිපති ධුරයේ නිල කාලය වසර හයක් වූ නමුත් 2015 මැයි මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ජනාධිපති ධුරයේ නිල කාලය වසර පහක් දක්වා අඩු කෙරිණ.

(බීබීසී )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න