Language Switcher

V2025

ශ්‍රිලනිප සංවිධායකයන් වෙනුවෙන් ප්‍රශ්න පත්‍රයක් : ප්‍රතිඵල අද රෑ "

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකින් කැඳවා ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ගතයුතු දේශපාලනික පියවර කවරේදැයි මතවිමසීමක් සිදුකර ඇත.

ඊයේ (04) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේ දී රැස්වූ මෙකී පිරිස ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ගත යුතු ක්‍රියාමාර්ගය ගැන සාකච්ඡා කර ඇති අතර එහි දී ප්‍රධාන ක්‍රියා මාර්ග 5 ක් පිළිබඳ මතය විමසා තිබේ.

කරුණු පහක් සංවිධායකයින් වෙත ලබාදී ඇති ජනාධිපතිවරයා, එම කරුණු සම්බන්ධයෙන් තම තමන් කැමති කාරණා  තුනක් අනුපිළිවෙලින් සඳහන් කරන්නැයි දැනුම්දී ඇත. එම කාරනා පහේ අන්තර්ගතය සැකෙවින් මෙසේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී,

1 ශ්‍රීලනිපයෙන් ජනාධිපති සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය.
2 ශ්‍රීලනිපයෙන් වෙනත් අයෙකු ඉදිරිපත් කළ යුතුය.
3 පොහොට්ටු අපේක්ෂක ගෝඨා සමග සන්ධානයකට යා යුතුය.
4 පොහොට්ටු අපේක්ෂක ගෝඨා සමග සන්ධානයකට නොයා යුතුය.
5 ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දිය යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග පවසන්නේ තම පක්ෂය දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා මෙලෙස සංවිධායකයින් කැඳවා මතවිමසිමක් කරනු ලැබුවේ වසර 18කට පසුව බවයි.

ඊයේ දිනයේ මතවිමසිමේදී සංවිධායකයින් ගෙන් ලද ප්‍රතිචාරය ජනාධිපතිවරයා විසින් අද (05) රාත්‍රී පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මාධ්‍ය ඒකකයටත් ප්‍රශ්න පත්‍රයක් !

ඒ අතර ඊයේ  (04) ‌පෙරවරු 10.30ට පමණ කිසිඳු පුර්ව දැනුම්දීමකින් තොරව ජනාධිපති මාධ්‍ය ඒකකයේ සියලු ‌දෙනාම කැදවා ඇති ජනාධිපතිවරයා, ඒ සියලු ‌දෙනාටම ඈත්ව අසුන් ගන්නා ‌ලෙස දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව ප්‍රශ්න 4ක් සහිත ලියවිල්ලක් ලබා දී ඇති ජනාධිපතිවරයා විනාඩි 10ක් ඇතුළත ඊට පිළිතුරු ලබා ‌දෙන ‌ලෙසට දැනුම් දී ඇත.

එම ලියවිල්ලේ ශ්‍රීලනිපය ‌පොහොට්ටුව සමග සන්ධානගත විය යුතුද?  සජිත් ‌ප්‍රේමදාස ප්‍රමුඛ එජාපය සමග සන්ධානගත විය යුතුද? එසේත් නැත්නම් තනිවම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුද ? යනාදී වශයෙන් ප්‍රශ්න 4ක් ඇතුළත් කර තිබී ඇත.

පසුව මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විනාඩි 10ක් ඇතුළත පිළිතුරු ලබා දීමෙන් පසු සියලු ප්‍රශ්න පත්‍ර එකතු කරගෙන ජනාධිපතිවරයා පිටව ‌ගොස් ඇති බවද දැනගන්නට ඇත.

පොහොට්ටුව සුබවාදී බලාපොරොත්තුවක !

අද රාත්‍රී පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂට සහාය දැක්වීම සදහා අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට අදාළ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය ඉකුත්දා එකගතාවකට පැමිණියේය.  ඒ, ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාබය රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පක්‍ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සහ පක්‍ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න එම සාකච්ඡුවට එක් ව තිබිණ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධානතම ඉල්ලීමක් වන ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති වී නොමැත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වූ සාකච්ඡා බොහෝ දුරට සාර්ථක වී ඇති බව පාර්ලිමේන්තුමන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි. මාධ්‍යවේදීන කළ ප්‍රශ්න කිරීමකදී ඔහු ඒ පිළිබද අදහස් දැක්වූයේ මෙසේය.

prasanna