Language Switcher

V2025

තොන්ඩාගේ සහය ගෝඨාබයට : තොණ්ඩා එජාපයෙන් ඉල්ලු 'පැකේජය' මෙන්න !

ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාබය රාජපක්ෂට ලබාදීමට තම  පක්ෂයේ විධායක සභාව අද (13) තීරණය කළ බව  එම පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් පැවසීය.

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථනායේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂකයාට ලබාදෙන්නේ ද යන්න පිළිබඳව අද (13) පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් පසුව පැවති මාධ්‍යය හමුවේදී තොණ්ඩමන් ඒ බව කීය.

වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාබය රාජපක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව විධායක සභාව ජනාධිපති අපෙක්ෂක ගොඨාබය රාජපක්ෂට පුර්ණ සහයෝගය ලබාදිය යුතු බවට තීරණය කළ බව තොණ්ඩමන් පැවසීය.

තොන්ඩා එජාපයෙන් ඉල්ලු පැකේජය !

ලංකා කම්කරු කොංග්‍රසය මෙම තීරණය ගැනීමට පෙර එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ජා වට කිහිපයක් පැවැත්වූ අතර එහිදී ඔවුන් විසින් කළ  ඉල්ලීම් සම්බන්ධයෙන් එජාපයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ.

මලික් සමරවික්‍රම ඇමතිවරයා ප්‍රමුඛ ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග පැවති එම සකච්ජවන්හිදී ලංකා කම්කරු කොංග්‍රසය විසින් පහත සඳහන් මුලික ඉල්ලීම් කිහිපය ඉදිරිපත් කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වූ වහාම වතුකරයේ සංවර්ධනය හා රටේ ආර්ථික ක්ෂේත්‍රයට බලපාන ප්‍රබල අමාත්‍යංශයක් ආරුමුගම් තොන්ඩමන් වෙත ලබාදීම, ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට අවස්ථාව හා එහිදී නුවරඑළිය ආසනයෙන් අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම, අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි 10ක අත්තිකාරම් මුදලක් හා අනතුරුව වහාම කෝටි 100ක මුදලක් ලබාදීම එම කොන්දේසි අතර තිබී ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.