ශ්‍රීලනිප සමග සන්ධානයට පොහොට්ටු විරෝධය : පොහොට්ටුවට  51% ය- ශ්‍රීලනිපයට 31% යි!

ශ්‍රීලනිප සමග සන්ධානයට පොහොට්ටු විරෝධය : පොහොට්ටුවට  51% ය- ශ්‍රීලනිපයට 31% යි!
ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර පිහිටුවා ගැනීමට නියමිත සන්ධානය වෙනුවෙන් ඇති කරගත් එකගතා පිළිබඳව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනෙකුගෙ විරෝධයක් මතුවී තිබෙන බව වාර්තා වෙයි.
 
ජනාධිපතිවරණයෙන් පසුව පොහොට්ටුව ලකුණ වෙනුවට පුටුව ලකුණෙන් ඉදිරිපත්වීම, නව සන්ධානයේ සියයට 31ක බලයක් ශ්‍රීලනිපයට ලබාදීම, ඉදිරි මැතිවරණවලදි නාමයෝජනා ලබා දීම සඳහා ශ්‍රීලනිපය සමග ඇති කරගත් එකඟතාවයන් ආඳිය පිළිබඳව එම විරෝධය මතුවි තිබෙන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන වල නියෝජිතයන් අතරය. එම එකඟතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ බලය ගිලිහී යනු ඇතැයි එම කණ්ඩායමේ මතය වි තිබේ.
 
මෙම සන්ධානය පිළිබඳව සාකච්ඡාවලට පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් එක්ව ඇත්තේ ගෝඨාභ‌ය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ ඇතුළු ඉදිරි පෙළ නායකයින් පමණි.
 
එම පක්ෂ දෙක අතර සන්ධාන ඇති කර ගැනීම අදියර තුනකින් සිදුකිරීමට නියමිත අතර පළමු අදියර ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් ඔක්තෝම්බර් 10 වැනිදා ඇති කර‌ගෙන තිබුණි. එම අවබෝධතා ගිවිසුමේ කරුණු 22 සඳහන්ව තිබී ඇත. එහි මූලික වශයෙන් සඳහන්ව තිබී ඇත්තේ දෙපාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන සංවිධායකවරුන්, වෘත්තීය සමිති ආදී එක් එක් මට්ටමේ ආයතනවල එකඟතා ඇති කරගන්නේ කෙසේද යන කාරණා පිළිබඳවය. ඊට අමතරව ඉදිරි මැතිවරණයට පෙර නව සන්ධාන බිහිකර ගැනීම සඳහා එකඟතාවක් එහි සඳහන්ව තිබි ඇත.
 
තෙවැනි අවබෝධතා ගිවිසුම නව සන්ධාන ඇති කරගැනීමට අදාළ ගිවිසුම වන අතර පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපයට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ සිටින අනෙකුත් පක්ෂද එම ගිවිසුමට අත්සන් කිරීමට නියමිතය.
 
දැනට පවතින පොදුජන එක්සත් පෙරමුණේ පක්ෂ නාමය හා  ව්‍යවස්ථාව වෙනස් කරමින්, එම පක්ෂයේ ලකුණ වන පුටුව ලකුණ එලෙසම තබා ගනිමින් නව සන්ධානය ලියාපදින්චි කිරීමට එම කණ්ඩායම් එකඟ වී තිබේ. සන්ධානයේ නාමය ලෙස ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ යන නාමයට එකඟතා ඇති  කරගෙන තිබේ.
 
නව සන්ධානයේ විධායක සභාවේ බලයන් 51% බලයක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණටද, 31% ක් ශ්‍රීලනිපයට,ද ඉතිරි 18% අනෙකුත් පක්ෂවලටද ලැබෙන ලෙස නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමටද එකඟ වි ඇත. එහි මහාලේකම්, සභාපති ඇතුළු ප්‍රධාන තනතුරු සියල්ලම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයට ලැබීමට නියමිතය.
 
නිර්නාමිකව පෙනී සිටිමට කැමති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අනිද්දා සමඟ ප්‍රකාශ කළේ මෙම එකඟතාවන් ගැන අවසාන මොහොත දක්වා තමන් ඇතුළු බොහදෙනෙකු නොදැන සිටි බවයි. එම එකඟතාවන් පොදුජන පෙරමුණ දුර්වල කරමින් ශ්‍රීලනිපයට නැති ශක්තියක් ලැබුණු ඒවා බවද ඔහු කීය. පළාත් පාළන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් ලැබු පොදුජන පෙරමුණට 51%ක බලයක් ලැබෙද්දී ඡන්ද ලක්ෂ 15කට අඩු සංඛ්‍යාවක් ලැබු  ශ්‍රීලනිපයට 31% බලයක් ලැබීම නුසුදුසු බවත්, පසුගිය කාලසීමාව තුළ ශ්‍රිලනිපයට තිබුණු ඡන්ද ලක්ෂ 15ක ප්‍රමාණයත් අඩුවී ඇති බවත් එම මන්ත්‍රීවරයා‌ගේ අදහස විය. ජනාධීපතිවරණයෙන් පසුව පුටුව ලකුණෙක් මැතිවරණ වලට  ඉදිරිපත්වීදට එකඟ වු නිසා, පොදුජන පෙරමුණ දුර්වල වූවායැයි හැගීමක් පාක්ෂිකයන් අතර මතුව ඇතැයි ඔහු කීය.
 
(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න