දිවි හිමියෙන් සජිත් ජනාධිපති කරවනවා - වජිර 

දිවි හිමියෙන් සජිත් ජනාධිපති කරවනවා - වජිර 

ගාල්ලේ ජනාධිපතිවරණ සටනට එක රුපියලක් ඕන නැහැ. ඔබේ පියා එදා මට කරපු උදව්වට මම දිවිහිමියෙන් ඔබව ජනාධිපති පුටුවේ වාඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මම සජිත්ට කිව්වා. ඒ ගැන ඔබත් කිසිදු සැකයක් තියා ගන්න එපා.” යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.
අමාත්‍ය වජිර අබේවර්ධන මේ බව පැවසුවේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එ.ජා.ප. නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමේ ජනාධිපතිවරණ නෙළුව - තවලම බල මණ්ඩල රැස්වීම පසුගියදා අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මම භීෂණ සමයේ දකුණු පළාත් සභාවට ඡන්දය ඉල්ලුවා. ඒ කාලයේ අපේ පක්ෂයේ නායක රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එතුමා මට කථා කරලා කිව්වා වජිර බැරිද පළමුවැනියා වෙන්න කියලා. මම කිව්වා ජනාධිපතිතුමා වැඩේ අමාරුයි... මහ ඇමති අපේක්ෂක ලෙස ඔබතුමා අමරසිරි මහත්තයා නම් කලානේ... නැත්නම් මම තමයි පළමු වැනියා කියලා. එහිදී ජනාධිපතිතුමා මට කිව්වේ, ඔහු ජ්‍යේෂ්ඨයානේ.. ඔහු පත් නොකර බැහැ කියලා. එහෙනම් දෙවැනියා වෙන්න පුළුවන්ද ඇහුවා. මම කිව්වා පුළුවන් කියලා. මගෙන් ඇහුවා මොනවද නැත්තේ කියලා. සල්ලි නැහැ. සල්ලි තියෙනවා නම් පුළුන්ද? මම කිව්වා පුළුවන්. අප්‍රේල් මාසේ 17 වැනිදා දුරකථනයෙන් ප්‍රේමදාස මහතා මට කථා කරලා කියනවා, වජිර මාව 20 වැනිදා උදේට හමුවෙන්න කියලා. මම 20 වැනිදා උදේ සුචරිතයට ප්‍රේමදාස මහතා හමුවෙන්න යනවා. සාක්කිකරුවන් තවම ජීවතුන් අතර ඉන්න නිසා දැන්ම කියන එක හොඳයි. එදා ප්‍රේමදාස මහතාගේ ලේකම් කේ.පී.දයාරත්න. අද අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්. මම උදේ 6.30ට යන විට දයාරත්න මහතාත් ඉන්නවා. මාව දැක්ක ගමන් ප්‍රේමදාස මහතා කොහොමද වජිර ඡන්දය ඇහුවා. මම කිව්වා හොඳට යනවා කියලා.

ප්‍රේමදාස මහතා ආනන්ද කියලා කෙනෙකුට දුරකථනයෙන් කථා කළා. ආනන්ද මම එවනවා තරුණ දක්ෂ ළමයෙක්. එයාව බලාගන්න ඕන. මම දන්නේ නැහැ ආනන්ද කවුද කියලා. දයාරත්න මහතා මට ඇඩ්රස් එක ලියල දුන්නා. ඔහු ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ආනන්ද ගනේගොඩ මහතා. ඒ මහතා තවම ජීවතුන් අතර ඉන්නවා. මම ඔහුගේ ගෙදර ගියා. තේ බොන ගමන් ඒ මහත්තයා කියනවා මම සල්ලි ටිකකුත් ලෑස්ති කළා කියලා. මම කිව්වා සල්ලි එපා කියලා. එහෙනම් මොනවද ඕනෙ? ගාල්ලේ ඡන්දෙ කරන්න පත්‍රිකා 500,000යි, පෝස්ටර් 50,000යි, වාහන 10යි, ලව්ඩ්ස්පීකර්... මම දිග ලැයිස්තුවක් කිව්වා. සමහරු අහනවා වජිර කොහොමද මේවා කරන්නේ කියලා. සදාකල්ම එක්සත් ජාතික පක්ෂයේ නායක‍යො මාව හොඳින් බලා ගත්තා කියලා ඔබට මතක් කරන්න කැමතියි.

එම කෙළෙහි ගුණය දන්න කෙනෙක් මම. ගාල්ලේ ජනාධිපතිවරණ සටනට එක රුපියලක් ඕන නැහැ. ඔබේ පියා එදා මට කරපු උදව්වට මම දිවිහිමියෙන් ඔබව ජනාධිපති පුටුවේ වාඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මම සජිත්ට කිව්වා. ඒ ගැන ඔබත් කිසිදු සැකයක් තියා ගන්න එපා.      

අපේ පක්ෂයේ මතවාද, අදහස්, යෝජනා මාස ගණනක් සලකා බලා පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීන්දු කරනවා. බලන්න අපේ පක්ෂයට කොච්චර විනයක් තියෙනවද කියලා. එයට විරුද්ධව කිසිවකු ප්‍රකාශ කළේ නැහැ. මේ එක්සත් ජාතික පක්ෂය. මෙහි කණ්ඩායම් නැහැ. කල්ලි නැහැ. දැන් ඔක්කොම එකට එකතු වෙලා ජයග්‍රහණය කරන්න තීන්දු කරල තියෙනවා. මගේ ඡන්දයකට වඩා ඉතාම ශක්තිමත් ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කළ යුතු බව මම ඔබට මතක් කරන්න කැමතියි.“යැයි කීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ, සුනිල් සේනානයක මහත්වරු ඇතුළු පළාත් පාලන ආයතන මහජන නියෝජිතයෝ සහ පාක්ෂිකයෝ විශාල පිරිසක් එක් වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න