ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හූ මදිවට වෙබ් මඩක් : රාජපක්ෂලා ගැන සැකයි !

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හූ මදිවට වෙබ් මඩක් : රාජපක්ෂලා ගැන සැකයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්  ඉලක්ක කරගත් මඩ මාධ්‍ය මෙහෙයුමක් දියත්ව තිබීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ විශේෂ අවධානයක් යොමුව ඇති බව එහි ප්‍රබලයකු පැවසීය.

ඔහු සඳහන් කර සිටියේ ප්‍රසිද්ධ වේදිකාවේ හූ කියා නින්දාවට පත්කිරීමට අමතරව තම මන්ත්‍රී පිරිස රුපියල් සතවලට විකිණෙන කෑලි බවට පත්කර ජනතාව හමුවේ නින්දාවට පත්කිරීමේ සැලැස්මක් මේ තුළ ඇති බවය.

එහි මූලිකත්වය ගෙන සිටින්නේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වාගෙන යන ලංකා ලීඩ් නිව්ස් සහ ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයකු විසින් පවත්වාගෙන යනු ලබන "එමනිසා" යන වෙබ් අඩවි බවත් ඔහු පවසයි. 

මේ සම්බන්ධ පුවත් ලීඩ් නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමේ සූදානමක් ඇති බවයි.

 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිතවත්කමක් දක්වන මෙම මන්ත්‍රීවරුන් සජිත් පාර්ශ්වයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් දෙදෙනකු සමග සාකච්ඡා කර ඇති බවත් ඔවුන්ට  රුපියල් කෝටි 25කට අධික මුදලක් සහ කැබිනට් ඇමැති ධුර ලබාදීමටද පොරොන්දු වී ඇති බවත් එම පුවතේ සඳහන් කර තිබේ.

ශාන්ත බණ්ඩාරටත් දරුණු ප්‍රහාරයක් !    

මේ අතර  "එමනිසා"  වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ජාතික ලැයිස්තුවෙන් එකම පාර්ලිමේන්තු කාල සීමාවක් තුළ දෙවරක් පාර්ලිමේන්තු ගිය තරුණ මන්ත්‍රීවරයා එජාපයට රුපියල් කෝටි 40කට විකිණී ඇති බව සඳහන් කරමින්ය.

ඉදිරියේදී ඔහු සජිත් ප්‍රේමදාසට සහාය දක්වනු ඇති බවත් පසුව ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සහ කැබිනට් ඇමති ධුරයක් ලබා දීම මත  මෙම ගනුදෙනුවට පොරොන්දු වී ඇතැයි ද එම පුවතේ සඳහන් අතර මේ පවසන්නේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ගැන බවත් එහෙත් ඔහු එවැනි සාකච්ඡාවක් සිදුකල බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවත් ශ්‍රීලනිප ප්‍රබලයා වැඩිදුරටත් පැවසීය.

දැනගන්නට ලැබී ඇති ආකාරයට මෙම වෙබ් අඩවිය ගෝඨාභය රාජපක්ෂට හිතවත් පෞද්ගලික මාධ්‍ය ජාලයක හිමිකරුවෙකුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව මේ සඳහා රාජපක්ෂ පවුලේ සම්බන්ධයක් ඇති බවට සැකයක් මතුව තිබෙන බවත් ඔහු පැවසීය.

අපි සාමෙන් ඒත් මොකක්ද මේ අපහාස !

පැරණි පසමිතුරුතා ඉවත්කර ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපව සිටින තම මන්ත්‍රී පිරිසට එල්ලවන අපවාද සම්බන්ධව මේ වන විට මන්ත්‍රී කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් බලවත් කණස්සල්ලෙන් සිටින බවත් පැවසූ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයා එම තත්ත්වය පාලනය නොකළහොත් මන්ත්‍රී පිරිසක් ඉදිරියේදී ඒ ගැන තීන්දුවක් ගනු ඇති බවත් පැවසීය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මේ මෙම තත්ත්වය සම්බන්ධව දරුණු  කළකිරීමක සිටින බවත් ඒ හේතුවෙන් ඔවුන් ජන්ද පොළට නොයාමට තීන්දු කළහොත් හෝ ගෝඨාභය රාජපක්ෂව පරාජය කිරීම වෙනුවෙන් පෙළගැසුනහොත් එහි පුදුමවීමට දෙයක් නොමැති බවත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න