පොහොට්ටු රැස්වීමවලට එන්නේ UNP -JVP  අයදැයි සැකයක් !

පොහොට්ටු රැස්වීමවලට එන්නේ UNP -JVP  අයදැයි සැකයක් !

එක්සත් ජාතික පක්ෂයේ  සංවිධානාත්මක කණ්ඩායම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්විම්  වලට රිංගා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට පැමිණි  නායකයන් අපහසුතාවට පත් කරමින් ප‍්‍රසිද්ධියේ ‘හූ’ කීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බැවින් ඊට හසු නොවන්නැයි රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ගෙන්  ඊයේ  (14)  ඇඹිලිපිටියේ දී ඉල්ලා සිටියේය.

පසුගිය 12දා ඇහැළියගොඩ නගරයේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයාට ආධාර පිණිස පැවති රැස්විමේදි  රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු ඇමතිවරයෙක් මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස්  පක්‍ෂයේ උපසභාපතිවරයෙක් වූ ඩබ්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා අපහසුතාවට පත්වන අයුරින් රැස්ව  සිටි පිරිස අතරින් ‘හූ’ හඬ  පැතිරීම සම්බන්ධයෙන්  අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේය.

රැස්විමෙන් පසු මාධ්‍යවේදීන්ට තවදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා,

“ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට සහාය දැක්වීම සම්බන්ධයෙන්  එක්සත් ජාතික පාක්‍ෂිකයන් සහ ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයින්  ඉන්නේ කෝපයකින්. ඒ නිසා ඔවුන් අපි දෙගොල්ලෝ විරසක කරන්න කුමන්ත‍්‍රණය කරනවා. සෙනෙවිරත්න ඇමතිතුමා පොහොට්ටුව සමග එක්වුණේ මීට අවුරුදු එක හමාරකට කලින්. ඒදා මෙදාතුර පොහොට්ටුවේ රැස්විම්  කීයකට එතුමා ආවද? ඒ එකකවත් මෙහෙම දෙයක් වුණේ නෑ.

මේක කුමන්ත‍්‍රණයක්. ඒ නිසා මම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ක‍්‍රියාකාරින්ගෙන් ඉල්ලනවා මේ කුමන්ත‍්‍රණ වලට හසු වෙන්න එපා. මේ ක‍්‍රියාව කළේ රත්නපුරේ ජනතාව නෙවෙයි. ‘හූ’ කිව්ව අය රැස්විම් වලට  ඇවිත් හිටියේ පිට ප‍්‍රදේශයකින්.

තොණ්ඩමන් ඇමතිතුමා දිගටම හිටියේ අපිත් එක්ක. දිගම්බරම් ඇමතිතුමා දෙමළ ජනතාවට උදවු  කළේ නැති නිසා තොණ්ඩමන් ඇමතිතුමා ඉල්ලූවේ දෙමළ ජනතාවට උදවු  කරන්න කියලා. එතුමා එදත් හිටියේ අපි එක්ක අදත් ඉන්නේ අපි එක්ක. එතුමට ඡන්ද ලක්‍ෂයකට වැඩිය තියනවා. කොන්දේසි විරහිතව තමයි කොණ්ඩමන් මහතා  අපට උදවු  කරන්න එකතුවෙලා ඉන්නේ.

ලංකාවට ගම්මිරිස් ගෙන්නලා ගම්මිරිස් වවන ජනතාව අගාධයට ඇඳදාපු ඇමතිවරයා ළඟ  තියාගෙන සජිත් පේ‍්‍රමදාස මහතා කියනවා එයා ජනපති වුණොත් පිටරටින් ගම්මිරිස් ගෙන්වන්න ඉඩ දෙන්නේ නෑ කියලා. මේවා ඡන්දෙට දෙන සීනි බෝල. අවුරුදු පහට කරන්න බැරිවුණ දේ සජිත් කොහොම කරන්නද? දෙපාරක් ඡන්ද පොළට ඇවිල්ලත් ඒ අයට ඇල්පිටිය ඡන්දය දිනාගන්න බැරි වුණා. මම කැට තියලා කියනවා රත්නපුරේත් දෙපාරක් ඡන්ද පොළට ආවත් එක්සත් ජාතික පක්‍ෂයට දිනාගන්න බෑ කියලා.’ ජානක  වකකුඹුර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත්  පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න