සජිත්ගේ අභියෝගය නාමල් භාර ගැනීම : ගෝඨා කිච කරන්න ඇතුලේම ගේමක් !

සජිත්ගේ අභියෝගය නාමල් භාර ගැනීම : ගෝඨා කිච කරන්න ඇතුලේම ගේමක් !

රාජපක්‍ෂ පවුලේ සියළු සාමාජිකයන්ට විවාදයකට එන ලෙස ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස  විසින් කරන ලද අභියෝගය තමන් බාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ පැවසූ බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් පැවසූ බවට එම පාර්ශවයට හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.

රාජපක්‍ෂ පවුලේ බාලම දේශපාලකයා ලෙස නාමල් රාජපක්‍ෂ  එම අභියෝගය බාර ගන්නා බවද ඔහු කියා සිටි බවත් එම විවාදය සදහා සජිත් පේ‍්‍රමදාසගේ බිරිඳ  ඇතුළු පවුලේ සියලු සාමාජිකයන්ට ආරාධනා කරන බවද එම මන්ත්‍රීවරයා උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නාමල්ව නම් කරලා නෑ !

කෙසේ වුවත් මේ සම්බන්ධව කළ විමසීමකදී  ගෝඨාභය රාජපක්ෂගේ අතිශය සමීපතමයකු සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් විවාදයට සහභාගී වන්නේ කවුද යන්න සම්බන්ධව කිසිඳු තීරණයක් ගෙන නොමැති බවය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද එවැනි සඳහනක් කර ඇති බවට තමන් දැනුවත් නොමැති බවත් ඔහු පැවසීය.එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනාධිපති අපේක්ෂකයකු තවත් ජනාධිපති අපේක්ෂකයකුට සිදුකළ විවෘත අභියෝගයක් ළාබාල මන්ත්‍රීවරයෙකු භාරගැනීම විහිළුවක් මිස අභියෝගයට මුහුනදීමක් නොවන බවය.

එසේම කනක හේරත් මන්ත්‍රීවරයා මෙය හොඳ වැඩක් ලෙස සිතා ප්‍රකාශ කළත් එයින් හෑල්ලුවට ලක්වන්නේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ බවත් එබැවින් කඩුව අතට දුන්න  වඳුරා ස්වාමියාගේ  නහයේ වහපු මදුරුවාට කඩුවෙන් ගැසුවා වැනි මේ  ප්‍රකාශ නිකුත් කිරීමේදී  ප්‍රවේශම් විය යුතු බව තම ස්ථාවරය බවත් ඔහු පැවසීය.

රාජපක්ෂ පවුලේ බල පොරය !

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ රාජපක්ෂ පවුලේ ඇති අභ්‍යන්තර බල පොරය මේ හරහා යළිත් කරළියට පැමිණ ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ විසින් ලබාදුන්නා නොව එම අපේක්ෂකත්වය ලබා නොදී බැරි තැනට ගෝඨාභය රාජපක්ෂ විසින් ගොඩනැගු සංවිධාන මතය සකස් කල බවද ඔවුන් සිහිපත් කරයි. නාමල් රාජපක්ෂ හැර වෙනත් අයෙකුට රාජපක්ෂ දේශපාලන කඳවුරේ නායකත්වය ලබාදීම මහින්ද රාජපක්ෂගේ තීරණය නොවන බවත් මෙවර නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා නොකළේ ඔහුගේ වයස් සීමාව ප්‍රමාණවත් නොවූ නිසා බවද ඔවුන් පවසයි.

නාමල්ගේ අනාගතය ගැන බයක් !

ඔවුන් වැඩිදුරටත් මෙසේද පෙන්වා දෙයි. ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති කළහොත් නාමල් රාජපක්ෂට වසර ගණනාවක් යන තුරු රාජපක්ෂ කඳවුරේ නායකත්වය නොලැබෙන බවට විශ්වාසයක් සහ භීතියක්  මහින්ද රාජපක්ෂට ඇත.  එසේම පොදුජන පෙරමුණේ සිටින නවක තරුණ මන්ත්‍රීවරුන්  නාමල් රාජපක්ෂ වටා ගොනුකර ඇත්තේද අවස්ථාව ලැබුණු විගස ගෝඨාභය රාජපක්ෂ පසුපසට ගෙන නාමල් රාජපක්ෂ ඉදිරියෙන් තැබීමටය. මේ උපක්‍රමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර පොදුජන පෙරමුණ බිහිකිරීම තුළ මහින්ද රාජපක්ෂ විසින් සාර්ථකව අත්හදා බැලූ උපක්‍රමයක් ද වෙයි.

ගෝඨා කුඩා කර නාමල් ලොකු කිරීමේ සියුම් ප්‍රචාරක වැඩපිළිවෙලක් !

ඒ බව තවදුරටත් තහවුරු කරන්නේ පොදුජන පෙරමුණේ යාපනය පක්ෂ කාර්යාලයේ නාමල් රාජපක්ෂගේ රුව විශාලව යොදා ගෝඨාභය ගේ රුව කුඩාවට යෙදූ ප්‍රචාරක පුවරු පරීක්ෂා කරන විටය. යාපනයේ පමණක් නොව නාමල් රාජපක්ෂ සහභාගී වන කුඩා ජනහමු වලද ගෝඨාභයගේ රුව කුඩාවටත් යෙදීමය. මේ සඳහා උපදෙස් නිකුත්කර ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින් වන අතර ගෝඨාභය ප්‍රතිචාර නොදක්වා සිටින සජිත්ගේ අභියෝගය නාමල් පිළිගන්නා බව ප්‍රසිද්ධ කිරීමත් ඒ අනුවම සිදුවූවක් බව පැහැදිළි වෙයි.

මේ වන විටත් ආණ්ඩුව පාර්ශවය ඇතුළු සජිත් ප්‍රේමදාසට සහය දක්වන කඳවුර ගෝඨාභය විවාදයේ අභියෝගයෙන් පළායන බවට දැඩි ප්‍රචාරයක් ගෙනයන පසුබිමේ නාමල් අභියෝගය භාරගත් බව ප්‍රසිද්ධ කිරීමට වෙනත් කිසිම හේතුවක් නැත. එම එකම හේතුව ප්‍රසිද්ධ දේශපාලනය තුළ ගෝඨාභයට වඩා වැඩි පෞරුෂයක් නාමල්ට ඇති බව පෙන්වීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න