මහජන දෙපළක් වන සංඛ්‍යාත අවභාවිත කරමින් පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක් ජනාධිපතිවරණය ඉලක්ක කර යෙදෙන ජඩමාධ්‍ය භාවිතයට එරෙහිව පාර්ශව කිහිපයක් විසින් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යාමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
සිවිල් සංවිධාන සහ නීතිඥයන් පිරිසක් මෙන්ම ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනෙකුද ඒ අතර වන බවත් දැනගන්නට තිබේ.
මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ හිරු නාලිකාව කෙරෙහිය.
හිරු නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය ඇතුළු පුවත් විශේෂාංග වැඩසටහන් මේ වන විට මැතිවරණ මාධ්‍ය උපමාන පමණක් නොව මාධ්‍ය ආචාරධර්ම පවා උල්ලංඝනය කරමින් සිටින අතර සිවිල් පුරවැසියන්ගේ නම් පවා සඳහන් කරමින් ඔවුන්ගේ ජීවිත පවා අවධානමේ හෙළන භාවිතයක යෙදෙමින් සිටියි.
එසේම පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි විසින් සිදුකළ ප්‍රකාශයක් මුළුමනින්ම විකෘති කර සිය ප්‍රධාන පුවත් බුලටීනයක විකාශය කිරීමටද හිරු නාලිකාව කටයුතු කර තිබූ අතර ඒ සම්බන්ධවද මෙම පාර්ශවයන්ගේ අවධානය යොමුව තිබේ.
TRC ලොක්කන් සහ ජනමාධ්‍ය ලොක්කන් ගොළුවෙලා !
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිසමේ සභාපති, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙනුවට එහි අතිරේක ලේකම්වරයෙකු සහ විදුලි සංදේශන නියාමන කොමිසමේ නිලධාරීන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් අතර විශේෂ සාකච්ඡාවක් සම්බන්ධවද තොරතුරු වාර්තා වෙයි.
එහිදී මාධ්‍ය ආයතන මැතිවරණ සමයට අදාළ මාධ්‍ය උපමාන සම්බන්ධව අවධානය යොමුව ඇත. ඒ සම්බන්ධව අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඔවුන්ගෙන් විමසා ඇත්තේ මාධ්‍ය උපමාන සම්බන්ධව නිසිලෙස කටයුතු නොකරන මාධ්‍ය ආයතන සම්බන්ධව අදාළ ආයතන වෙතින් අනුගමනය කළ හැකි නීතිමය කටයුතු ගැනය.
නමුත් එහිදී විදුලි සංදේශන නියාමන කොමිසමේ නිලධාරීන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිහඬව සිට ඇති බවත් වාර්තා වෙයි.
එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර ඇත්තේ "තමන්ව අමාරුවේ නොදමා නෛතික පදනමින් මැතිවරණ උපමාන නොතකන මාධ්‍ය සම්බන්ධව කටයුතු කරන ලෙස" අවධාරණය කර ඇති බවත් දැනගන්නට ඇත.
නොවැම්බර් 4 ජඩමාධ්‍ය වෙත කැඳවීමක් !
ඔවුන් පසුව තීන්දු කර ඇත්තේ මෙකී ජඩමාධ්‍ය ප්‍රධානීන් කැඳවා මාධ්‍ය භාවිතය සම්බන්ධව අවවාද කිරීමටය.
ඒ අනුව එළඹෙන සඳුදා (04) මෙම ජඩමාධ්‍ය ප්‍රධානීන්ට ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත කැඳවීමට නියමිත බවත් වාර්තා වෙයි. නමුත් තමන්ට එම අවස්ථාවට සහභාගීවීමට නොහැකි බවත් ඒ වෙනුවට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු එවන බවටත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර ඇති බවත් දැනගන්නට ඇත.

