සීතල ඊතල ගෝඨාභයට වැදිලා : මහින්දගෙන් ITN වෙත වාරණයක් !

සීතල ඊතල ගෝඨාභයට වැදිලා : මහින්දගෙන් ITN වෙත වාරණයක් !

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් වූ බවට ලැබුණු පැමිණිල්ලක් පදනම් කරගෙන ස්වාධීන රූපවාහිනියේ සියළු සජීවී  සම්මුඛ සාකච්ඡා, විවාද, සංවාද, වහාම අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ලිඛිතව දන්වා ඇත.

අදාළ ලිඛිත නියෝගය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව ඊයේ (01) නිකුත්කර ඇති අතර මෙම නියෝගය නිකුත් කිරීමට  මීට පාදකවූ වැඩසටහන ලෙස එහි  දක්වා ඇත්තේ 2019 -10-30 වනදා ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය කළ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර සහභාගීවූ "සීතල ඊතල" වැඩසටහනය.

ඒ අනුව ඉදිරියේ දී මෙම වැඩසටහන් සජීවී ලෙස විකාශය නොකර පටිගත කර මැතිවරණ කොමිසමේ අනුමැතිය යටතේ විකාශය කිරීමටද අදාළ ලිපිය හරහා දන්වා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිකුත් කළ එම ලිපිය පහත දැක්වෙයි.

meco leter 450

සීතල ඊතල වැඩසටහනේ තිබුණේ මොනවද ?

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ විමර්ශන සිදු කළ හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර  පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ හෙළිදරව්වක් සිදු කළ අතර සීතල ඊතල වැඩසටහනේදීද ඔහු ඒ කරුණු නැවත අවධාරණය කර සිටියේය.

ඒ  දේශපාලන බඩගෝස්තරවාදීන් කිහිපදෙනෙකු තමන්ට තනතුරුගැනීමට යම් යම් ප්‍රකාශ සිදු කරමින් සිටින බවත් ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පිළිබඳ තමන්ට විමර්ශනය බාරදෙන විට එය බරපතල අපරාධයක් බවත් එය කඩිනමින් විමර්ශනය කරන ලෙසත් එම ලිපිගෝනුව තමන්ට සුහද ගම්ලත්  විසින් බාර දුන් නමුත් එම විමර්ශනය සිදු කර තමන් එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් එහෙත් එය යළි තමන් වෙත නොපැමිණි බවත් පවසමින්ය.

තමන්ගේ විමර්ශනයට අනුව වරදකරුවන් 05 දෙනෙකු නම් කර තිබියදීත් එම වරදකරුවන් නිදහස් කර සිටියේ කුමන පදනමකින්ද යන්න තමන් දැන ගතයුතු බවත් හිටපු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර අවධාරණය කරන්නට යෙදුණු අතර කිසිඳු ආකාරයක පදනම් විරහිත කතාවක් එහිදී සඳහන් වුණේ නැත.

 පැමිණිල්ලක් ලැබුණු බව සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම වාරණය නිකුත්කර ඇත්තේ එවැනි පසුබිමකය.

මැතිවරණ කොමිසමට පෞද්ගලික මාධ්‍යට මොකුත් කරන්න බෑලු !

නමුත් මැතිවරණ කොමිසමේ සභාපති පසුගියදා පැවති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක සඳහන් කර සිටියේ රාජ්‍ය මාධ්‍ය හැර පෞද්ගලික මාධ්‍ය සම්බන්ධව කටයුතු කිරීමට තමන්ට නොහැකි බවය. 

එහෙත් මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන සහ ඊට අදාළ ගැසට් පත්‍රයේ එවැන්නක් සඳහන් නොවන අතර ඒවායේ සඳහන් වන්නේ "සියළු මාධ්‍ය ආයතන" මැතිවරණ සමයට අදාළ මාධ්‍ය උපමානවලින් ආවරණය වන බවය.

මැතිවරණ නීතිය ගෝඨාභයට කෝ !

මේ අතර වත්මන් හමුදාපතිවරයා ඇතුළුව විශ්‍රාමික හමුදාපතිවරුන්ගේ ප්‍රකාශ ඇතුළත් කර මුද්‍රිත මාධ්‍ය කිහිපයක දැන්වීමක් ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය විසින් පලකළ අතර එය  බරපතල මැතිවරණ නීති උල්ලංඝනයක් වුවත් ඒ සම්බන්ධව විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට මැතිවරණ කොමිසම ක්‍රියා නොකළ බවත් අවම වශයෙන් අදාළ පුවත්පත් ආයතන වෙතින් හෝ විමසා නිසි විමර්ශනයක් නොකෙරුණු බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මාධ්‍යවේදීන් කැඳවා රස කතා කීමෙන් හෝ රාජ්‍ය මාධ්‍ය වෙත පමණක් වාරණ නියෝග නිකුත් කිරීමෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බවත් එය මැතිවරණ කොමිසමේ අපක්ෂපාතීත්වය ජනතාව හමුවේ ප්‍රශ්නකාරී වන තත්ත්වයක් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ මේ ප්‍රශ්නකාරී සහ අපක්ෂපාතී බවට කැළැල්වන හැසිරීම සම්බන්ධව මීට පෙර මාධ්‍යවේදී කුසල් පෙරේරාද මැතිවරණ කොමිසමේ සභාපති වෙත ලිඛිතව දන්වා තිබූ අතර ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොමැති තැන සිහිකැඳවීම් ලිපියක්ද යොමුකිරීමට ඔහු කටයුතු කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න