Language Switcher

V2025

අධිකරණයට අපහාස කළේ රන්ජන් ද, මාධ්‍ය ද ?

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරුන්, පොලිස් නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්ව සමග සිදු කරන ලද දුරකතන සංවාද පටිගත කිරීම සම්බන්ධයෙන් දැන් වැරදිකරු කර අවසන් ය. ඒ විධිමත් ක්‍රියාවලියකින් නොව, අශීලාචාර සම්පන්න ක්‍රියාවලියකින් ය. මන්ත්‍රීවරයා හෝ විනිසුරුවරුන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා හෝ ඕනෑම අයෙකු නීතියේ ආධිපත්‍යයට බලපෑම් කර ඇත්නම්, නිසි පරිදි විමර්ශන කර ඔවුන්ට එරෙහිව පියවර ගත යුතුය. එහෙත් මේ සිදුවන්නේ බළලුන් ලවා කොස් ඇට බෑවීමකි.

මේ ඒ සම්බන්ධයෙන් නීතිඥ හර්ෂණ නානායක්කාර සමග සිදු කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි.

පොලිසිය භාරයේ තිබූ නඩු භාණ්ඩ පිට යෑම

යම් සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කරලා නඩු භාණ්ඩ පොලිසිය භාරයට ගන්නවා. මේවා රෙකෝඩින්ග්ස් නෙ. අපේ සාක්ෂි ආඥා පනතෙ ප්‍රතිපාදන තියෙනවා, මේවා වෙනස් නොකරන ලද හඬපට ද කියලා හොයලා බලන්න. කවුරුත් මේකට තාක්ෂණික මැදිහත්වීම් කරලා තියෙනවද කියලා තහවුරු කරගන්න ඕනෙ. මේ හඬ වල අයිතිකාරයො හරියටම කවුද. මෙන්න මේ කාරණා හරියටම හොයලා බලන්න රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තියෙනවා. නැත්නම් මොරටුව විශ්වවිද්‍යාලය හරහා ඒ තාක්ෂණික කරුණු විසඳගන්න පුළුවන්කම තියෙනවා.මුලින්ම කරන්න ඕනෙ ඒකයි. පිටතින් මේවට බලපෑම් වෙලා තියෙනවද කියලා තහවුරු කරගත යුතුයි. පොලිසිය මේ නඩු භාණ්ඩ අත්අඩංගුවට ගත්තට පස්සෙ සීල් කරලා උසාවියට භාර දෙනවා. ඊට පස්සෙ මේ ක්‍රියාවලියට අධිකරණයෛන් යොමු කරනවා. ඒ අදාළ තැනින් ඊට පස්සෙ සම්පූර්ණ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් එවනවා අධිකරණයට. ඕක තමයි ක්‍රියාදාමය. ඕකට කියන්නෙ නඩු භාණ්ඩ ආරක්ෂා කිරීමේ දාමය කියලා.

සැකයේ වාසිය විත්තියට දීම

මේ නඩු භාණ්ඩ ආරක්ෂා කිරීමේ දාමයට හානියක් වුණොත් බොහෝ වෙලාවට සැකයේ වාසිය ගන්න පුළුවන් විත්තියට. උදාහරණයක් වශයෙන් ගන්න, මත්කුඩු අත්අඩංගුවට ගැනීමක්. ඒ මත් කුඩු ලාකඩ ගහලා, සීල් කරලා, සැකකරුගෙ වම් මාපට ඇඟිල්ලෙ මුද්‍රා තියලා, පිළිවෙළක් තියෙනවනෙ මේවා අධිකරණ ක්‍රියාදාමයට යොමු කරන. ඒකෙන් කියන්නෙ මේ භාණ්ඩ අත්අඩංගුවට ගත් ස්වරූපයෙන්ම තියෙනවා, කිසිම මැදිහත්වීමක් වෙලා නෑ කියන එකයි. ඔය දාමය කඩා ගත්තොත් විත්තියට වාසියි. සරලව කිව්වොත් පොලිසිය ගත්ත බඩුමද අධිකරණයට ගියෙ, අධිකරණයට ඉදිරිපත් කළ බඩුමද රස පරීක්ෂක ළඟට ගියෙ යනාදී කරුණු අනුපිළිවෙළ ආරක්ෂා කළ යුතුයි වගේම තහවුරු කළ යුතුයි.
රන්ජන් රාමනායකගෙ මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි හැමෝම තවම දන්නෙ මාධ්‍ය වලින් ප්‍රචාරය කෙරෙන දේවල් සහ එක් එක් අය තම-තමන්ගෙ දේශපාලන මතය කියන දේවල්. මට අහන්න ලැබුණා, මේ රෙකෝඩින්ග්ස් වල ඔරිජිනල් ඒවා ත්‍රීවීල් එකක තිබිලා හම්බුණා කියලා. රන්ජන්ගෙන් ගත්තෙ තහවුරු කරගන්න විතරයි කියලා. ඒත් එක කාර්ණයක් පැහිදිලිව කියන්න ඕනෙ. මේ සිද්ධිය වෙලා, ඒ කියන්නෙ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයව අත්අඩංගුවට අරන් පොඩි වෙලාවක් ඇතුළත මේ හඬපට සමාජ මාධ්‍ය, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, භික්ෂූන් වහන්සේලා, විවිධ දේශපාලන කණ්ඩායම් අතට ගිහින් තිබුණා. මෙතැන බරපතළ සැකයක් මතු වෙනවා, මේ ගොල්ලොන්ට කොහෙන්ද මේවා ලැබුණෙ කියන එක. යම් හෙයකින් පොලිසිය අත්අඩංගුවට ගත්ත දේවල් නම් මේ විදිහට පිටට ගිහින් තියෙන්නෙ, මං කලින් කියපු ආරක්ෂා කිරීමේ දාමය කැඩිලා තියෙනවා. එහෙම වුණොත් කොහොමද ඒවා අධිකරණයේදී භාවිතා කරන්නෙ. අපි තවම දන්නෙ නෑ, හරියටම මොකක්ද වුණේ කියලා. නමුත් මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් තියෙන ආකාරයට අධිකරණ කටයුත්තකදී හෝ කොමිසමකදී හෝ ඕනෑම නීතිඥයෙකුට ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්, මේවමද රන්ජන්ගෙ ගෙදරින් ගත්තෙ කියලා. එහෙම නම් පොලිසිය බරපතළ ලෙස සදාචාරය උල්ලංඝනය කරලා තියෙනවා කියලා.

අධිකරණ කටයුත්තකදී මේ හඬපට භාවිතා කරනව නම් අධිකරණය සෑහීමකට පත්විය යුතුයි, මේවමයි රන්ජන්ගේ ගෙදරින් අත්අඩංගුවට ගත්තෙ කියලා. ඊට පස්සෙ ඒවට කවුරුත් මැදිහත් වුණේ නෑ, ඒවමයි තාක්ෂණික කටයුතු සඳහා යොමු කෙරුණේ යනාදී කාරණා ගැන.මේවා තහවුරු වුණාට පස්සෙ තමයි, මේ හඬපට වලින් අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් ඇක්ෂන් ගන්න පුළුවන් වෙන්නෙ. නැත්නම් සාක්ෂියක් වශයෙන් බලාත්මක නෑ.

කෝල් රෙකෝඩ් කිරීම

කෙනෙකුට යම් අවශ්‍යතාවක් මත මේ විදිහෙ රෙකෝඩ් කිරීමක් කරන්න පුළුවන්, අනෙක් පාර්ශ්වයට කියලා. ඒක සදාචාර සම්පන්නයි. ඒත් නොකියා රෙකෝඩ් කළත්, ඒ රෙකෝඩ් කරන පුද්ගලයට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න බෑ. අපේ රටේ එහෙම පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් නීති නෑ. හැබැයි යම් හෙයකින් ඒ රෙකෝඩ් කරන දේ තාක්ෂණික වශයෙන් වෙනස් කරලා තිබුණොත්, ඒ වෙනස් කරපු දේ යම් කාර්යයකට භාවිතා කරලා තිබුණොත් ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මාධ්‍යවේදියෙක් දුරකතනයෙන් කරන සම්මුඛ සාකච්ඡාවක් රෙකෝඩ් කරනවා. ඒකෙ නොකියපු දේවල් පත්තරේක හෝ වෙනත් මාධ්‍යයක පළ කළොත් ඒකට විරුද්ධව පියවර ගන්න පුළුවන්. එතකොට වෘත්තීය අවශ්‍යතාවට තමයි රෙකෝඩ් කළේ. ඒත් භාවිතා කළේ වෙනස් කරලා. ඒක නීති විරෝධීයි.ඒ වගේම මොනවා හරි අපරාධයක් සැලසුම් කිරීමක් ගැන හිතන්න. ඝාතනයක් සම්බන්ධයෙන් දුරකතන ඇමතුමකින් කතා කරනවා. ඒක රෙකෝඩ් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න පුළුවන්. ඒත් මේ සියලු උදාහරණ වලදි අර මං මුලින් කියපු ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතුයි. ඒකෙන් තමයි අධිකරණය ඉදිරියේ මේක සාක්ෂියක් විදිහට භාවිතා කරන්න පුළුවන් පරිසරය හැදෙන්නෙ. මොකක් හරි පැමිණිල්ලක් කරන කොට, පොලිසිය පවා ඇතැම් අවස්ථා වල අහනවනෙ, රෙකෝඩ් කරපුවා මොකුත් නැද්ද කියලා. ඒවා සාක්ෂි. ඒකට නීතියෙන් බාධාවක් නෑ. ඒ වගේම ඔබ සහ මම කතා කරන දෙයක් වෙනත් පාර්ශ්වයක් අවරයක් නැතුව රෙකෝඩ් කළොත්, ඒකට විරුද්ධව පියවර ගන්න පුළුවන්.  බොහෝ දියුණු රටවල මේවට අදාළ නීති තියෙනවා. නීති නැති තැන්වල ඒවා සම්පාදනය වෙමින් තියෙනවා. ඒත් අපේ රටේ තවම ඒ ගැන අවධානය යොමු වෙලා නෑ. මේ සිද්ධිය නැත්නම් මාධ්‍ය වලින් මේ වගේ සාකච්ඡාවක් හෝ කෙරෙන්නෙ නෑනෙ.

තීන්දුව එළියෙන් ගැනීම

රන්ජන් රාමනායකගේ මේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාදාම කෙසේ වෙතත්, දැන් මාධ්‍ය වලින්, භික්ෂූන් ඇතුළු පාර්ශ්ව රැසක් තීන්දු දීලා ඉවරයි. ඒ කියන කරුණු මත පදනම් වෙලා ජනතාවත් යම් යම් තීරණ මේ සිද්ධිය සම්බන්ධයෙන් අරන් ඉවරයි. මේක අපේ රටේ අලුත් දෙයක් නෙමෙයි. රටේ පශ්නයක් වුණු ගමන් සමාජ මාධ්‍ය වලින් තීන්දු දෙනවා. ඊට පස්සෙ තමන්ගෙ මතය අනුව ඒ අදාළ දේශපාලනඥයන් හෝ චීවරධාරීන්. මේක ඉතාම බරපතළ, අශීලාචාර තත්ත්වයක්. නිවැරදි තීන්දුවකට වගේම පුද්ගලයෙකුගේ චරිතයට මේවා කොයිතරම් හානිකර විදිහට බලපානවද. අපි පහුගිය කාලෙ සිද්ධි කීයක් දැක්කද, මේ වගේ මාධ්‍ය වලින් සැකකරුවො අනාවරණය කරලා, ඔවුන්ව වැදිකාරයො විදිහට හංවඩු ගැහුවට පස්සෙ අධිකරණයෙන් ඔවුන් නිදහස් වුණා. ඒවට මාධ්‍යෙයන් අවශ්‍ය ඉඩ දෙනවද.

මේ සිද්ධියට අදාළව ගත්තට පස්සෙ නීතිපතිවරයා පොලිසියට උපදෙස් දීලා රන්ජන් රාමනායක අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ ව්‍යවස්ථාවෙ 111 වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්. ඒ කියන්නෙ අධිකරණයට බලපෑම් කිරීමක්. මේ වගන්තියෙන් මීට කලින් පියවරක් ගන්නවා මං දැකලා නෑ. ඒත් මේ වෙලාවෙ මොනව හරි පදනමක් තියෙන නිසානෙ, නීතිපතිවරයා මේ උපදෙස් දෙන්නෙ. ඒත් එළියෙ දැන් මතවාදය හදලා තියෙන්නෙ මේ කෝල් රෙකෝඩ් කරපු නිසා අත්අඩංගුවට ගත්තා වගේ එකක්. ඇත්තටම ගත්තොත් අධිකරණයට වැඩි අපහාසය හෝ බලපෑම වුණේ රන්ජන් රාමනායක මේව රෙකෝඩ් කරපු එකෙන්ද, නැත්නම් මාධ්‍ය මගින් මේවා දිගින් දිගටම ප්‍රචාරය කරපු එකෙන්ද. මන්ත්‍රීවරයා මේව රෙකෝඩ් කළාට, පබ්ලිෂ් කළේ නෑ අපි දන්න විදිහට. ඒත් වැඩි අපහාසය වුණේ කොතැනින්ද.

තව මොනව නොවෙයිද ?

මෙතැන ලොකු වරදක් කරලා තියෙනවා මාධ්‍ය වලින්. මේව සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන කරලා, රන්ජන් විතරක් නෙමෙයි විනිසුරුවරුන් පවා අත්අඩංගුවට ගත්තට කිසි කෙනෙක් ප්‍රශ්න කරන එකක් නෑ. ඒත් මෙතැන වෙන්නෙ දේශපාලන වාසිය තකා සම්පූර්ණ අධිකරණ පද්ධතියටම ගොම ගැහීමක්. ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නොතකා හැර කටයුතු කිරීමක්. මේකෙන් වෙන්නෙ මිනිස්සුන්ට නැති වෙමින් තිබුණු අධිකරණය පිළිබඳ විශ්වාසය තවදුරටත් සීග්‍රෙයන් නැති වෙන එක. මෙහෙම ගියොත් මිනිස්සු තීන්දු කරයි, නිකම් බොරුවට සල්ලි වියදම් කරගෙන උසාවි ගිහින් වැඩක් නෑ, මම ම මගේ ප්‍රශ්න බේරගන්නවා කියලා. ඒ තැනටයි දේශපාලන අවශ්‍යතා මත මේ මතවාදය හදන්නෙ. ඒ මතවාදය ජනතාව අතර පැළවෙන්න දීලා, තම-තමන්ගෙ දේශපාලන තීන්දු-තීරණ ටික ගනියි. අවශ්‍ය අය නිදහස් කරයි. අවශ්‍ය ඉඩම් ටික පිටට දෙයි. තව මොනව නොවෙන්න පුළුවන්ද.  

ශාලික විමලසේන

(ලංකා ඉරිදා සංග්‍රහය - 2020. 01. 19)